තවත් එක් කතාවක්...


අද හුඟාක් හයියෙන් වහිනවා.
ඔව්. එදා වගේම හුඟාක් හයියෙන්.
 

    නැටුම් පංති ගිහින් ඇවිත් යාළුවෝ ගියාට පස්සේ තනිවුනු මම ගමේ බස් එක එනකන් කියල එතන තිබුණු කඩපිලට ගොඩවුනේ නොතෙමී ඉන්න. මහ දවල් උනත් වැහි අඳුර හින්දා මහා කරුවලක් තිබුණු ඒ මොහොතේ පාර දිහා ඉස්සි ඉස්සි බලාන හිටියෙ සුපුරුදු බස් එක එනකන්. එත් බස් එක වෙනුවට මගේ ඇස දෙකට පෙනුනෙ ලස්සන නිල් පාට පුංචි කොටු පිරුණු අත්දිග ෂර්ට් එක වැලමිට ගාවට නවාගෙන, මහා දඟකාර, ඒ උනත් අහිංසක හිනාවක් මූනේ තියාගෙන යාලුවෙක් එක්ක එක කුඩේ තෙමි තෙමී කෑගගහ ආපු ඔයාව.

    යාලුවා ඔයාව හෝල්ට් එකෙන් දාල ගියාම ඔයා නොතෙමී ඉන්න ගොඩ උනේ මං උන්නු කඩපිලට. අතේ තිබුණු ඔරලෝසුව බලලා අපේ ගමට යන බස් එක ගියාද කියලා ඔයා මගෙන්ම අහනකොට හිතට දැනුනු කවදාවත් කියාගන්න බැරි හැගීමට මුළු ඇඟම සීතල වෙලා ගියේ වැහිපොද වැටිලා හිරිකඩ ගහමින් හමාපු සීතල සුළඟට උණුහුම් වෙලා තිබුන වගේ. ඒ වෙලාවේ හිත ගැස්සුණු පාරට ඔව් කියලා කීවත් ආයෙම නැහැ කියලා කීවේ ඔයා සුපුරුදු හිනාවෙන් ඒක පිළිගත්තත් මටම මං ගැන ඇතිවුණු ලැජ්ජාවකින්. ඒ වෙලාවේ ඔයාගේ මූනේ ඇඳුනු ඔයාගේ ඒ අහිංසක හිනාව ඔයා දහස් වතාවක් හිනා වෙලා දහස් වතාවක් වියැකිලා ගියත්, කවදාවත් මගේ හිතේ ඇඳුනු ඔයාගේ ඒ සිනහව වියැකෙන්නෙ නැතිව මං මැරෙනකල්ම රැඳෙන විත්තිය මං එදා දැනන් උන්නේ නැ.එදා බස් එක එනකන් හිටපු ඉතුරු විනාඩි5 කල්පයක් වගේ මට දැනුනේ ඔයා එතන හිටපු හින්දා කියලා ඒ මොහොතේ මං දැනන් උන්නේ නැ. ඒ ඔයාව දැකපු මොහොතෙම මගේ හිතුවක්කාර හිත ඔයාට ආදරේ කරන්ඩ අරං කියලත් මං දැනන් උන්නේ නැ.
 

    බස් එකේ ඔයාට හම්බුනු සීට් එක පෙන්නලා ඉඳගන්න කියල කටින් නොකියා ඇස්දෙකෙන් කියද්දී සීට් එකට එහා ලස්සන ලෝකයක් මං දැක්කේ ඔයාගේ තිබ්බ හදවතේ හොඳකමටද නැත්නම් ඔයාගේ ඇස්දෙකේ ලස්සනටද කියලා මට තවමත් හිතාගන්ඩ බෑ. ටික වෙලාවකින් එතනම හිස් වුනු අනික් අසුනට බර වෙලා වචනයක්වත් මට කතා නොකර යනකොට මං කොච්චර දුක් උනාද? මං බහින්නම් කියල ඔය නැගිටලා යද්දී හා කියල මං කීවට පරිස්සමින් යන්න කියලා කියාගන්න බැරි උනාට මං හිතින් කියපු එක ඔයාට ඇහුනා නම්....
 

    කාගේ කවුද කියලා නොදන්නවා උනාට, ඉන්නේ කොහෙද යන්නේ කොහෙද නොදන්නවා උනාට එදා ඉඳන් මගේ ඇස්දෙක හෙව්වේ ඔයාව. සත්තයි....එදා බස් එකට ගොඩවුනු ඔයා බස් එකෙන් බැහැලා ගියාට මගේ හිතට ගොඩවුනු ඔයා කවදාවත් මගේ හිතෙන බැහැලා ගියේ නෑ. ඔයා තාමත් මගේ හිතේ මං ළඟ හැමදාම ඉන්නව. ඔයාගේ අහිංසක ඇස්දෙකට, හිනාවට මන් තවමත් ආදරේ කරනව.....



වැහි කෝඩු අඳුර මැද
හැමූ සීතල සුළඟ
සීතල කලත් ගත
ඔබම විය උණුසුම 
     මගේ හිතට තනි රැක්ක...

මුහුණෙ ඇඳි සිනහවට
කථා කළ ඇස්දෙකට
හද පිදූ සෙනෙහසට
වශී උනු මං කොහොම
     උපමා සොයන්නද...

ඔබ නේන හැම දාක
මං සොයනවා ඔබ
යලි නොඑන්නම ගියත්
එදා මං ළඟ සිටි ඔබට
     සත්තයි මං ආදරෙයි තවම...


8 comments:

  1. ලස්සනයි. සිදුවිමත් අපුරැයි...

    ReplyDelete
  2. ඔය වගේ අමතක නොවන අය මටත් හම්බ වෙලා තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි හැමෝටම ඔහොම අය හම්බෙනවා :D

      Delete
  3. සමහර වෙලාවට ගොඩක් පොඩි සිදුවීමක් උනත් අපේ හිත්වල සෑහෙන කාලයක් යනකන් රැඳිලා තියෙනව...ලස්සනයි කතාව සිහින :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්. ඒක ඇත්ත. බෝම ස්තුතියි chams :)

      Delete
  4. හ්ම්ම්ම් ඉස්සර බැඳී පෙම සිත්වල සුවඳයි කිව්වලු.

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...