සංසාර සංචාරේ...දහසයවන දිගහැරුම...

කලින් කොටස්



පහුවදා මට ඇහැරුනේ අරෝශයගේ සද්දෙට. කිව්වත් වගේ මූ උදේ පාන්දරම ඇවිදින් මාව එක්කන් යන්ඩ. ඒ වගේ බොක්කේ යාලුවෙක් ඉන්න එකත් එක විදියක පිනක් තමයි කියල මට හිතුනා.
"නැගිටපං යකෝ. නැගිටලා ලැස්ති වෙයන් යන්ඩ." කෑගහගෙනම අරෝශයා කාමරේට ආවා.
"නැගිටිනවා නැගිටිනවා මල්ලී...මදිද නිදාගත්තා..." කියාගෙන අක්කත් අරෝශයගේ පස්සෙන් කාමරේට ආවා.
"ආපෝ...තමුසෙලානම් මාර වදකාරයෝ ටිකක්..." මාත් ඒ දෙන්නට මට කියපු විදියටම ගුඩ් මොර්නින්ග් කිව්වා.
"හා හා දැන් මල පෙරේතයා වාගේ ඉන්නේ නැතිව ගිහින් මූණ හෝදන් එනවා. ඔහොම ඉන්ඩ අරෝෂ මල්ලි මං ඔයාට තේ එකක් හදන් එන්නම්." කියාගෙන අක්කා ගියේ මට නෝන්ඩි හිනාවක් දාන ගමන්.
"හා හා මූට විතරක් තේ ගේනවකෝ" කියලා මමත් ඇඳෙන් ඉඳගත්තා.
"ගිහින් මූණ හෝදන් ලෑස්ති වෙයන් මචං. අපිට කරන්ඩ වැඩ ගොඩක් තියෙනවා." අරෝශයා එහෙම කියන ගමන් මට තට්ටුවක් දැම්මා. ඌ ඒක කියපු සීරියස් මූඩ් එකට මට ටිකක් බයත් හිතුනා.


"බෑ බං පාඩම් කරන්ඩ. මතක හිටින්නේ නෑ මුකුත්." මං කිව්වේ පැයක් විතර බිස්නස් පොතේ එකම පිටුව කියෙව්වත් කිසිම දෙයක් ඔලුවට ගියේ නැති හින්දා.
"හිතන්න එපා බං අනිත් ඒවා ගැන. තව ටික දවසකට ඕවා අමතක කරහන්. තව සති පහනේ බං එක්සෑම් එකට. ඊට පස්සේ බලමු ඕවා ගැන."
"අනේ මන්දා බං. මට තේරෙන්නේ නෑ. පිස්සු වගේ බං එක්සෑම් එක මතක් වෙද්දී. මොනවා ලියන්ඩද මංදා. මේ පාර එක්සෑම් එක නොලියා ඉන්ඩත් හිතෙනවා බං"
"පිස්සු කෙලින්නේ නැතිව ඉඳපන් බං. ඕවා පාඩම් කරන්ඩ බැරිනම් මෙන්න මේ ගණන් ටික හදලා දියන්කෝ."
"කෝ දියණ බලන්ඩ" කියලා ගණන් ටික අතට ගත්තට හදාගන්න පුළුවන් වෙයි කියලා කිසිම විස්වාසයක් තිබුනේ නෑ. කොච්චරා පාඩම් කරන්ඩ හැදුවත් හිත ගිහින් ගිහින් අන්තිමට නැවතුනේ රශ්මි ගාව. එකම එක වතාවක් ඒ බෝල ඇස්දෙක දිහා බලාගෙන කතාකරන්ඩ ලැබෙනවානම් කියලා හිතෙන වාර අනන්තයි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"ඒයි නැගිටපන් ස්කෝලෙට යන්ඩ." අරෝශයා මට ඇහැරවනකොට මං හිටියේ හොඳ නින්දක. සෑහෙන කාලෙකින් අනිදී මරපු නිසා ඇඟට දැනුනේ පුදුම අමාරුවක්. ෆෝන් එක අරන් බැලුවේ වෙලාව කීයද කියලා. වෙලාව උදේ අට හමාරයි. නිදාගෙන තියෙන්නේ පය පහක් විතර. එක තමයි මෙච්චර අමාරු. වෙනදට ඉතින් පැය හතක අටක් නිදියන එකනේ.
"මොකටද බං ස්කොලේ යන්නේ? මේ හදිස්සියේ?"
"ඇඩ්මිෂන් ඇවිත්ලු බං. රුවනා කිව්වේ. ඌට කියල තියෙන්නේ අර ස්කෝලෙට අලුතෙන් ආපු උන්ගේ පැත්ත ඉන්න 'ටීචර් අක්කා'."
"ඉතින් දැන් ඌ යනවලුද?"
"ඔව්. දහය විතර වෙනකොට ස්කෝලෙට එනවා කිව්වා. අපිත් යමං"
"හා යමං එහෙනම්. මට උඹේ යුනිෆෝර්ම් එකක් දියණ. ආයේ ගෙදර යන්ඩ බෑ.."
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අපි ස්කෝලෙට යනකොට අනිත් උන් ඇවිත් හිටියා. පොඩි කාලේ ඉඳන් උගන්නපු හැම මැඩම් කෙනෙක් ගාවටම හැම සර් කෙනෙක් ගාවටම ගිහින් වැඳලා එනකොට හිතට දැනුනේ කාටවත් කියාගන්ඩ බැරිතරම් දුකක්. අවුරුදු ගානක් ගෙදර වගේ හිටපු ස්කෝලෙන් ආයෙමත් කවදාවත් නොඑන්නම යනවා කියලා තේරුනාම හිත කීරි ගැහිලා යනවා.
"වරුණ පුතා ...හොඳට පාඩම් කරලා කැම්පස් යන්නම ලියන්න හොඳද..." කියලා හැමෝම කියනකොට ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු මං දැනටමත් බිඳලා ඉවරයි නේද කියලා දැනෙනකොට මගේම බෙල්ල මටම මිරිකගන්ඩ තරම් හිතෙනවා.

කාලෙකින් එකට උණු කොල්ලෝ සෙට් එක අතරේ මොන මොන බයිලාව ගහලා හිනා වුනත් ඒ හිනාව තිබුණු මූනේ විතරයි. මං අවුලෙන් හිටියොත් අනිත් එවුන්ටත් අවුල නිසා අමාරුවෙන් උනත් හිනාවෙවී ඉඳලා ආපහු ආවේ ක්ලාස් නිවාඩු දුන්නට පස්සේ දවසක සෙට් වෙලා කට්ටියම හොඳ ෆන් එකක් ගමු කියල පොරොන්දු වෙලා.

සෑහෙන කාලෙකින් ස්කෝල ඇරෙන වෙලාවට ටවුමට ආවම පුංචි සතුටක් හිතට ආවා. ඒ වෙන මොකවත් හින්දා නෙවෙයි. රශ්මි ඉඳීවි කියලා. ඒත් අමාලි හිටියෝත්නම් රශ්මි එක්ක කතාකරනවා තියා රශ්මි දිහා බලන්දවත් පුළුවන් වෙයිද මංදා. හෙමින් හෙමින් ස්ටෑන්ඩ් එක පුරා ඇස්දෙක අංශක තුන්සිය හැටටම කැරකෙව්වත් රශ්මිගේ චායාවක්වත් නැති තැන මං ගිහින් බංකුවක ඉඳගත්තා. ටික වෙලාවක් එහෙම යන්ඩ ඇති. ඈතට වෙලා කෙල්ලෝ වගයක් එක කතා කරකර හිටපු අරෝශයා එකපාරම දුවගෙන ඇවිත් මගේ අතින් ඇද්දා.
"මචං රශ්මි ආවා...!" 



Facebook comments...

3 comments:

  1. මාත් මේ දමාගෙන උගන්නන්නේ ඔක්තෝබර් 5 පටන් ගන්න එග්සෑම් එකට ඉන්න උන් සෙට් එකකට. වගේ වගක් නෑ බං උන්ටත්. අනේ කවුරුත් ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. ආයේ අපි කියලත් අමුතු නෑ ඩූඩ්... :D

      Delete
  2. ලියන්න අදහසක් නැද්ද ආයෙම

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...