සංසාර සංචාරේ...සිව්වන දිගහැරුම

"පුතා...අපි පන්සල් යනවා. ඔයත් යං අපි එක්ක..." අම්ම කතා කරනවා. අද පෝය දවසේ පන්සලට නොගිහිල්ලත් බෑ. 
"අපෝ ඔයාලත් එක්ක යන්ඩ බෑ අප්පා...කම්මැලි ඔයාලත් එක්ක..." මං එහෙම කිව්වේ ගෑනු කට්ටියත් එක්ක ගිහින් එයාල කයිය ගහන්ඩ ගත්තම එන යනකොට උනත් මට තනියම උඩ බලන් යන්ඩ වෙන හින්දා. 
"එහෙම කියල පුළුවන් යැ..යං යං ඉක්මනට ලෑස්ති වෙන්ඩ. කාන්ති ඇන්ටිලා ඇවිල්ලත් ඇති. ලෑස්ති වෙන්ඩ පුතා..."
අම්ම එහෙම කිව්වමනම් මට යන්ඩම හිතුන. කාන්ති ඇන්ටිලත් එනවනම් අනිවාර්යෙන් රශ්මි නංගිත් එනවනේ. හුඟ දවසකින් ඒ මූණ දැක්කෙත් නැති හින්ද මට යන්ඩම හිතුන. එත් තනියම බෑනේ මොනවා කරන්ඩත්. ගත්ත දුකට සැපට ළඟම ඉන්න අරෝෂයට කෝල් එකක්. "අඩේ මේ..අපේ අම්මල පන්සල් යං කිව්වා. මට තනියම යන්ඩ බෑ. උඹ ඉක්මනට ලෑස්ති වෙලා වරෙන් අපේ ගෙදරට. එනවනේ?" අරෝශය "හලෝ" කියද්දී මං කියලත් ඉවරයි. 
"මොකද බං ඔච්චර හදිස්සියක්?" 
"උඹ වරෙන්කො..ආවම කියන්නම්.." කියල මං ෆෝන් එක තියල මූණ එහෙම හෝදගෙන ලෑස්ති වෙන්ඩ ගත්තා. "මල්ලී..එනවකෝ..." අම්මල යන්ඩ එළියටත් බැහැල. අක්ක කෑගහනවා. 
"හරි හරි ඔයාල යන්ඩකෝ, අරෝශය එනවා කිව්වා. මං ඌත් එක්ක එන්නම්." 
"හා..අපි යනෝ..." කියල අක්කල ගියා... මං හීන මැව්වේ මගේ සිහින කුමාරි දකින්ඩ... මං කල්පනා කලේ කොච්චර කෙල්ලෝ දැකල තිබුනත් රශ්මිට මේ තරම හිත බැදෙන්ඩ රශ්මිගේ තියෙන විශේෂත්වය මොකද්ද කියල. එයා ලස්සනයි. සුදුයි. අහිංසකයි තමයි. එත් අඳින්නේ පලඳින්නේත් බොහොම චාම් විදියට. කථා බහ කරන්නෙත් බොහොම නිවිච්ච විදියට. සමහර කෙල්ලෝ වගේ කොල්ලන්ගේ හිත් හොරකං කරන දඟකාරකමක් එයාළඟ තිබුනේ නැහැ. -------------------------------------------------------------------- අරෝශයා ආවහම මං අරෝශයට විස්තරේ කිව්වා. "උඹටනම් පිස්සු වරුණ..." ඌ ගත් කටටම කිව්වෙ එහෙම. 
"ඇයි?" 
"ඇයි අහන්නේ බූරුවෝ...ඒකිත් එක්ක දවසක් දෙකක් කථා කෙරුවට, මූණෙ අහිංසකකම තිබ්බට, උඹ ඔය නැහෙන්නේ කොයි වගේ කෙල්ලෙක් මත්තෙද කියල උඹ දන්නවද?" 
"ඇයි උඹ දන්නවද?" මං එහෙම ඇහුවෙ තරහින්. කවුරුවත් රශ්මි ගැන වචනයකින්වත් වැරද්දක් කියනව අහන්ඩ මගේ හිත සූදානම් උනේ නෑ. 
"නෑ බං වරුණ...මං එහෙම රශ්මිගේ වැරද්දක් කියනව නෙවෙයි. ඒකී මෙහෙ ඇවිත් හිටියට ඒකිට එහෙ කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නෑනේ බං අපි හරියට..."
"ඒක හරි මචං...උඹ හරි..එත් අනේ මංදා බං...වෙන කිසිම කෙල්ලෙක් මගේ හිතේ ඇතුළු නොවිච්ච මානෙකට රශ්මි ඇතුල් වෙලා ඉන්නේ බං. මටම තේරෙන්නේ නෑ ඒ කොහොමද, ඒ ඇයි කියල බං..." 
"හරි වරුණ..මං උඹ ගැන දන්නවනේ. එත් මචං ඕනෙවට වඩා ඕනෙම දෙයක් ඕනෙම නෑ කියනවනේ. ඒ හින්දා රශ්මිටත් උඹේ හිතේ සීමාවක් තියාගනින්."
------------------------------------------------------------------ 
අපි පංසලට යනකොට ගමේ හැමෝම වගේ පන්සලේ. සෑහෙන සෙනගක් එකතුවෙලා. හැමතැනම මම හෙව්වේ අර බෝල ඇස් දෙක. අපි හෙමිහිට හෙමිහිට බෝධිය පැත්තට ගියා. යනකොට අල්ලපු ගමේ යාලුවෝ සෙට් එකත් පංසලට ඇවිත්. සෙට් එක පිටින්ම. 
"මොකද්ද යකෝ අපිටත් නොකියම සෙට් එක පිටින් පංසලට ඇවිත්..?" මම රුවනගෙන් ඇහුවා. "ආ..දැන් මේ තොපි දෙන්න ඇවිත් ඉන්නේ අපිට කියලද?" රුවනත් අතාරින්නෙ නෑ ගේම. "අයියෝ නෑ බං. අම්ම හදිස්සියේම යන කිව්වා. තනියම එන්ඩ බෑ වගේ හිතුන හින්ද මුට කෝල් කරලා මූව ගෙන්නාගෙන ආවා." මං අරෝෂයව පෙන්නලා කිව්වා. "අපෙත් එහෙම තමා බං.අද අපේ ගමේ බෝධි පූජාව. ඉතින් අපි සේරම ආවා.අපි හිතුව උඹලත් එයි කියල. උඹල ඇවිත් නැති නිසා කෝල් කරන්ඩ හදනකොට උඹලගේ අම්ම දැකල අපි ඇහුවා කෝ උඹ කියල. ඉතින් උඹල දෙන්න එනවා කියපු හින්ද අපි කෝල් කරේ නෑ." "හරි හරි... අපේ අම්මල දැන් කොහෙද දන්නේ නෑ නෙහ්?" මං රුවන්ගෙන් ඇහුවට මට ඕනේ වෙලා තිබ්බේ අම්මව හොයාගන්ඩ නෙවෙයි.

සංසාර සංචාරේ... පස්වන දිගහැරුම...

3 comments:

  1. හි හි...
    පන්සල් ලවු...

    ReplyDelete
    Replies
    1. මතක් වෙනකොටත් හිනා යන්නේ රහසක්වත් තියේද තරියෝ?
      :D

      Delete
  2. කට්ටිය වැඩි වෙලා වැඩේ අල කරයිද?

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...