සංසාර සංචාරේ...පළමු දිගහැරුම...


"මල්ලී...මල්ලී..."
"මොකද හලෝ? ටිකක් නිදාගන්ඩ ඇඳට ආවා විතරයි."
"ටක් ගාල සමාධි අක්කලාගේ ගෙදර ගිහින් එනවකෝ"
"ඒ මොකටද?"
"එයාගේ පොතක් තියෙනවා. ඒක දීල මගේ ටියුට් වගයක් ඇති එයා ළඟ, ඒ ටික ඉල්ලන් එන්ඩකෝ..."
"අනේ මට බෑ ඕයි මේ වැස්සේ"
"අනේ මල්ලි. ගිහිං එනවකෝ".
අක්ක කියපු හැටියට මට දුක හිතුන.
"කෝ දෙනවකෝ එහෙනම්..." කියල අක්කාගෙන් පොත ඉල්ලං සමාධි අක්කලාගේ ගෙදර ගියා.

    සමාධි කියන්නේ අපේ අක්කගේ හොඳම යාලුවා පොඩි කාලේ ඉඳන්ම. ඒ හින්දම එයාලා අපි අතරේ ලොකු බැඳීමක් තියෙනව. කොහොමින් කොහොම හරි කුඩයක් ඉහලගෙන හිටියට හුළඟත් එක්ක ආපු හිරිකඩ වැදිලා මං බාගෙට තෙමිලා හිටියේ සමාධි අක්කලාගේ ගේ ලඟට එනකොට. හත්ඉලව්වටගහපු කලාබරේ කිව්වලු. සමාධි අක්කලාගේ ගෙදර දොරත් වහල. ගෙදර කවුරුත් නැද්ද දන්නෙත් නෑ. ඇරලා තිබ්බ ගේට්ටුවෙන් ඇතුලට ගිහින් පෝටිකෝව යටට ආවම තමයි හිරිකඩෙන් බේරිලා නොතෙමි ඉන්න පුළුවන් උනේ. දොර වහල තිබුනත් අක්කලා ගෙදර ඇති කියන විශ්වාසෙන් බෙල් එක ගැහුවෙ ගෙදර කවුරුත් නැති උනොත් ආපහු ගිහින් අක්කව කන්න බලාගෙන. එදා බෙල් එක ගහනකොටම කාන්ති ඇන්ටි දොර ඇරියේ මගේ වාසනාවටද අවාසනාවටද කියල මට හිතුනේ නෑ.

"ආ...පුතා...හොඳටම තෙමිලා...එන්න එන්න ගෙට එන්න..." කියල කාන්ති ඇන්ටි මාව ගෙට අඩගැහුවේ වෙනදා වගේම ගොඩක් ආදරෙන්.
කුඩේ පෝටිකෝවේ තියෙන්ඩ ඇරලා කොන්ඩේ අතින් ගසාගෙන ගෙට ඇතුල් වෙලා ළඟම තිබ්බ පුටුවෙන් ඉක්මනට ඉඳගත්තේ සීතලට ගැහි ගැහි...
"අපි තේ බොන්න හැදුවේ පුතා, වතුර කේතලේ දැන් පැහෙනවත් ඇති. ඔහොම ඉන්ඩ පුතා මං ටක් ගාලා පුතාටත් තේ එකක් හදන් එන්නම්කෝ" කියල කාන්ති ඇන්ටි කුස්සියට ගියේ මං ආපු කාරනේවත් නොඅහ, මට වචනයක්වත් කතාකරන්ඩ ඉඩ නොදී.
"ආ පුතා මේ බිස්කට් කන්නකෝ...මං තේ එක ගේනකං..." කියලා කාන්ති ඇන්ටි බිස්කට් ට්‍රේ එකක් ගෙනත් දුන්න. මං බිස්කට් එකක් අරන් කන අතරට ඇන්ටි ආපහු කුස්සියට ගියේ තේ ගේන්න. ඇන්ටි අරං ආවේ මගේ තේ එක විතරයි. තේ එක, ඉස්සරහ තිබුනු ටිපෝ එකෙන් තියලා ඇන්ටිත් මට ඉස්සරහ පුටුවේ ඉඳගත්තෙ
"ඉතින් පුතා...මොකෝ මේ වැස්සේම ආවේ කියන්ඩකෝ..." කියන ගමන්.
"අක්කගේ පනිවිඩේකට ඇන්ටි ආවේ. මේ පොත් ටික සමාධි අක්කට දීල අපේ අක්කගේ ටියුට් වගයක් තියෙනවා කියල ඉල්ලන් එන්ඩ කිව්වා".
"ආ...ලොකු දුව නම් නානවද කොහෙද පුතා.ටිකක් ඉන්ඩකෝ එහෙනම්"..කියල පිටිපස්සට හැරුණු ඇන්ටි
"රශ්මි දුවේ...ඔයාලට තේ හදල, අනේ ගිහින් මගේ එකත් ගෙන්නකෝ..."කිව්වා.
ඒක ඇහුණම මගේ ඇස්දෙක මටත් හොරෙන් ගේ පුරා සැරිසැරුවෙ සමාධි අක්කගේ නංගි අමාලි උනාම කවුද මේ මං නොදන්නා රශ්මි කියල දැකගන්ඩ. ගේ පුරා ඇස් දිව්වට මම ඉස්සරහ තිබුණු සමාධි අක්කගේ කාමරේ දොරරෙද්ද මෑත් කරන් මතුවුනේ "හා නැන්දේ..." කියාගත්තු ලස්සන කටහඬක් තියෙන ලස්සන ගෑනුළමයෙක්.

------------------------------------------------------------------------------------

"අක්කේ...මෙන්න තමුසෙගෙ ටියුට් ටික...බලනවකො මං හොඳටම තෙමුනා ඕයි..." කියාගෙන මං ගෙට ගොඩ වුනේ අක්කට බොරුවට කෑගහන ගමන්. අක්කාගෙන් සද්දයක් නැති තැන  "අක්කෙඒඒඒ......." කියල කෑගැහුවේ යකෝ මේකිට මොකක් උනාද කියල හිතාගන්ඩ බැරිව.
"උදේ පොගන්ඩ දාපු රෙදි ටික හේදුව හලෝ. උදේ මට ඒ ටික හෝදන්ඩ අමතක උනානේ. අන්න තමුසෙගෙ ටි ෂර්ට් වගේකුත් තිබිල හේදුවා" කියාගෙන අක්ක බාත්රූම් එකේ ඉඳන් ආවම ටියුට් ටික මෙසේ උඩින් තියල මං ටිකක් නිදාගන්ඩ ආවට මං දැනන් උන්නේ නෑ මාත් එක්ක රශ්මි මගේ හිතට ගොඩ වෙලා ගෙදර ඇවිත් කියල....

සංසාර සංචාරේ...දෙවන දිගහැරුම...

========================================================
ප:ලි...
අනේ පිංසිද්ද්වෙයි...
වැරදි අඩුපාඩු කියල යන්ඩ ඈ...
ඉස්සරහට ලියවෙන්නෙ ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි ඈ...

11 comments:

  1. එල එල... දිගටම ලියමු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. කියන්න තරම් අඩුපාඩුවක් නම් මට නම් පෙනුනෙ නෑ. දිගටම ලියන්නකො...

    ReplyDelete
  3. නිර්මාණයට හිත ගියේ ලස්සනට ලියපු නිසානේ.දිගටම ලියන්න අපි කියවනවා.

    ReplyDelete
  4. හොඳ මුලපිරීමක්... ඉස්සරහටත් ලියන්න.... අනිවාර්යෙන් එනවා බලන්න <3 <3 <3

    ReplyDelete
  5. කතාව හොදයි වගේ. ඉතුරු ටිකත් කියවන්නම්කො......

    ReplyDelete
  6. ඔන්න මමත් කතාව කියවන්න පටන් ගත්තා.

    නියම චෑන්ස් එකක්නේ වැදිලා තියෙන්නේ, බර බර ගගා ගියාට.

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...