සංසාර සංචාරේ... පස්වන දිගහැරුම...

සංසාර සංචාරේ...පළමු දිගහැරුම...          සංසාර සංචාරේ...දෙවන දිගහැරුම...
සංසාර සංචාරේ...තෙවන දිගහැරුම...       සංසාර සංචාරේ...සිව්වන දිගහැරුම...




"උඹලගේ අම්ම එහෙම හිටියා මචං බෝධිය පැත්තේ" රුවනා කිව්වා.
"හරි මචං. එල. මං අම්මට කියල එන්නංකො මං ආවා කියල." එහෙම කියලා මං අරෝශයාවත් ඇදගෙන බෝධිය පැත්තට ගියා.
"හෙමින් යමං බං. රශ්මි ගෙදර යන්නේ නෑනේ බං කලින්" අරෝශයා එහෙම කීවේ මං ඌවත් ඇදගෙන ඇවිද්දට වඩා දුවපු නිසා.
"මෙන්න මෙහෙ වරෙන්කො කට පියන්." කියල ඌවත් ඇදගෙන ඉතුරු ටිකත් ගියා.


බෝධිය වටේටම සෙනඟ. සමහරු  පහන් වැටවල් ළඟ වටවෙලා පහන් වලට තෙල් දානවා. තවත් අය තිරේ තිරේ තෙල් පහනේ පොඟවලා පහන් පත්තු කරනවා. පැත්තක පොඩි ළමයි වගයක් තරඟෙට හඳුන්කූරු පත්තු කරනවා. තවත් සමහරු වතුසුදු මල් ගොඩාක් මල් වට්ටි වල අහුරනවා. ඒ හැම කෙනෙක් ගාවටම මගේ ඇස්දෙක දිව්වේ රශ්මිව හොයාගෙන. එත් මට හම්බුනේ නෑ.
"අන්න මචං උඹලගේ අම්ම නම් ඉන්නවා අරහේ" අරෝශය කතාකලා.
"වරෙන් යන්ඩ." මං අරෝශයත් එක්ක අම්මා ගාවට ගියා. අම්මයි කාන්ති ඇන්ටියි පැන් කල ගේන්ඩ ගිහින්.
"ආ පුතා...දැන්ද ආවේ?" කාන්ති ඇන්ටිගෙන්  ප්‍රශ්නයක්.
"ටිකක් වෙලා ඇන්ටි." මං කිව්වා.
"අරෝෂ පුතා කෝ අම්මා ආවේ නැතිද?"
"නෑ ඇන්ටි. අම්මගේ කකුලක් ඉදිමිලා. රිදෙනවා කියල බේත් ගන්ඩ ගියා."
"ආ ඒ මක් වෙලාද?"
"දන්නෑ ඇන්ටි. පොඩි අයියත් එක්ක ගියා ඩොක්ට ගාවට."
"එහෙමද. මං එහෙනම් හෙට දිහාට එන්නම්කෝ ඒ පැත්තේ. දැන් ඔය දෙන්නා මේ කල ටික අරන් ගිහින් පහල ලිඳෙන් හෝදලා වතුර පුරවන් එන්ඩකෝ. අන්න අක්කලත් ගියා." අම්මා පැන් කල ටික අපිට දෙන ගමන් කිව්වා.
මටත් ඕනේ උනේ අක්කල ඉන්න තැන දැනගන්ඩ. අපි ඉක්මනට පහලට ගියා. යනකොට අක්කයි සමාධි අක්කයි ඉන්නවා. රශ්මියි අමාලියි නෑ. මගේ හිත කෑ ගහනවා. කෝ රශ්මි..???
"ආ මල්ලි...දැන්ද ආවේ?" සමාධි අක්ක ඇහුවා.
"ටිකක් වෙලා අක්කේ." එහෙම කියල මං වතුර අදින්ඩ ගත්තා. මට වතුර අදින එක වගේ වගක් නෑ. මගේ හිත හොයන්නේ රශ්මිව. අක්කලගෙන් කෙලින්ම අහන්ඩත් බෑ. මං වතුර බාල්දි කීයක් ඇද්දද කියලා මටවත් මතක නෑ.
"ඔය ඇති මෝඩයෝ" ඒ අපේ අක්කා. මං වතුර අදිද්දී එයාලා කල හෝදලා. මම ඒවාට වතුරත් පුරවලා. තව වතුර එකක් වැඩිපුරත් ඇදලා.
"දැන් එනවා මේ කලෙත් අරන් යන්ඩ. මෙයා මොන ලෝකේ ඉන්නවද මංදා." අක්ක එහෙම කියල කලයක් අරන් ඉස්සර උනා. අරෝශය මට කින්ඩි හිනාවක් දැම්මා. මට ඌට ගහන්ඩ හිතුනා කලෙන්ම. මුගෙන් කිසි සපෝට් එකක් නෑ. හිනාවෙන්ඩ නම් එනවා. ලොම්බා.
මට එක පාරටම මතක් උනා අමාලිත් නෑ කියල. අමාලිටයි රශ්මිටයි පන්තිවත්ද? නෑ වෙන්ඩ බෑ පෝය දවසේ. දෙන්නම ගෙදරවත්ද?  නෑ. එහෙම වෙන්ඩත් බෑ. මගේ හිතෙන් මමම ප්‍රශ්න අහල මමම ඒවාට උත්තර දීලා මටම එපා වෙලා.
"කෝ සමාධි අක්කේ අමාලි නංගි?" ඉන්ඩම බැරි තැන මං සමාධි අක්කාගෙන් ඇහුවා.
"ආ එයා අර රශ්මි එක්ක ගාල්ලේ ගියානේ මල්ලි. ඊයේ ගියේ. අනිද්දා තමා එනවා කීවේ. ඔයාට රශ්මි හම්බුනාලු නේද දවසක් බස් එකේ." සමාධි අක්ක මගේ හීනේ කඩලා අන්තිමට ප්‍රශ්නත් අහනවා, මට මාර තරහක් ආවේ.
"ආ ඔව් අක්කේ. දවසක් ටවුන් ගිහින් එනකොට හම්බෙලා කතාකරා."  එහෙම කියල මං ඉස්සර වෙලා ඇවිත් පැන් කලේ අම්මට දීලා සෙනඟ අතරින් මිදිලා දාන ශාලාව පැත්තට ආවා.
අරෝශයත් මගේ පස්සෙන්ම ඇවිත්.
"මොකද බං මේ? යකෝ රශ්මි ආපහු එන්ඩ ගියේ. උඹ දඟලන්නේ හරියට නිකං රශ්මි හැමදාටම ගාලු ගියා වගේනේ බං."
"ඒ වුනාට යකෝ මං උඹවත් ඇදගෙන ආවේ රශ්මි බලන්ඩනේ"
"හරි හරි බං. රශ්මි අනිද්දට ආපුවහම බලාගන්ඩ බැරියෑ. දැන් වරෙන් යන්ඩ අරෙහට. බෝධි පූජාව පටන් ගන්ඩ ලෑස්ති. අර අරුන් සෙට් එකත් ඇවිත්. වරෙන් යන්ඩ." එහෙම කියාගෙන අරෝශයා මාවත් ඇදගෙන බෝධිය පැත්තට ගියා. 


සංසාර සංචාරේ...හයවන දිගහැරුම...

5 comments:

  1. පහුගිය කොටසත් එක්ක දෙකම දැනුයි කියෙවුවේ.. ඉතුරු එකත් ඉක්මනට දාමු නේ..

    ReplyDelete
  2. පෙං කතා....එකදිගට කියවං යන්න දාකො එකපාර සේරම බං

    ReplyDelete
    Replies
    1. එහෙම දාන්ඩ ලියලා ඉවරත් නෑ බං

      Delete
  3. බැලූ බැලූ අත විදුලිආලෝකයෙන් බැබලුනු පන්සල් බිම හදිසියේම අඳුරු වී ගියේය.

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...