සංසාර සංචාරේ...එකොළොස්වන දිගහැරුම...

කලින් කොටස්

දවස් එක දෙක හෙමීට ගෙවිල ගියා. මං බලන් හිටියේ රශ්මි එනකන්. දෙපාරක්ම එයාගේ ගෙදරට කතාකරත් කවුරුවත්ම ෆෝන් එකට ආවෙත් නෑ. වැඩිය ගන්ඩත් බයයි එයාට ප්‍රශ්නයක් වෙයි කියලා. විභහගෙත් ළඟ තියාන මෙයා එහාට වෙලා මොනවා කරනවද මංදා. බලන්ඩ ගිය ආච්චිට තවම සනීප නැතිද දන්නෙත් නෑ. අයියෝ මේ හැමදේම මටම වෙන හැටි. ශික් විතරක්.
"යකෝ...දැන්වත් ගණන් ටික හදපන්."
මං පියවි ලෝකෙට ආවේ අරෝශයා කකුලට ගහල කතා කරපු වෙලාවේ. එතකොට තමයි මතක් උනේ මං ඉන්නේ අකවුන්ට් ක්ලාස් එකේ කියල. සර් මොනා කිව්වද, මොන ගාණ හදන්ඩ කිව්වද කියල මට ඇහුනෙත් නෑ. මේක මෙහෙම ගිහින් නම් හරියන්නේ නෑ. ඉක්මනටම රශ්මි හම්බෙලා මේක විසඳුමක් කරගන්ඩ වෙනවා. නැත්නම් මට වෙන්නේ ගමටම ලයිට් දෙන්ඩ තමයි.

"කොහෙන්ද පටන් ගන්ඩ කිව්වේ බං.."
"ඔහොම මනෝ පාර ගහලනම් බෑ පුතා...උඹට කෙලවෙයි...උඹට කෙලවෙනවා කියන්නේ ඉතින් මට දෙපාරක් කෙලවෙනවා කියන එකනේ. ඒ හින්දා...උඹ ගැන නෙවෙයි..මේ අහිංසක මං ගැන හිතලවත් වැඩ ටික හරියට කරපන්. දැන් හදපන් දොළහේ ඉඳන් ගණන් ටික. ඕකේ ක්ෂය ගැලපිල්ල මට තේරෙන්නේ නෑ. ඒකත් කියාදීපන්."
"උඹට මේවා අවුල් නම් වරෙන් අපේ දිහා රැක සෙට් වෙලා පාඩම් කරන්ඩ..මං කියල දෙන්නම් උඹට."
"අන්න හොදයි. එහෙනම් හෙට අනිද්දා දවසක මං එනවා එහෙ ඉන්ඩ."
"හා වරෙන්." එහෙම කියල මං ගණන් ටික හදන්ඩ ගත්තා. සැරෙන් සැරේ ගණන් අතරට රශ්මි ආවත් බොහොම අමාරුවෙන් එයාව පැත්තකින් තියල ගණන් ටික හදාගත්තා.
"මේ...හ්... Iron Man 2 ඇවිත්. යන්ද බලන්ඩ අරෝශ?"
"අම්මටසිරි....කවද්ද ඇවිත් තියෙන්නේ?"
"ඊයේ බං"
"යමන්ද? සල්ලි තියෙයිද?"
"යමන් එහෙනම්. සල්ලි නම් මොනවා හරි කරගන්ඩ බැරියැ."
"එහෙනම් ඉන්ටවල් එකේ යමං. කොහොමත් එතනින් පස්සේ ගණන් ටික හදන එකනේ කරන්නේ. ඒ ටික කෙල්ලෙක්ගෙන් ඉල්ලගමු හෙට"

මං, අරෝශයා, රුවනා අපි සෙට් එක දහයක් විතර ගියා ෆිල්ම් එක බලන්ඩ. කලෙක්ෂන් එකක් දාල ටිකටුත් අරගෙන ෆිල්ම් එකත් බලලා හොඳ ෆන් එකක් අරන් එලියට එනකොට දෙකත් පහු වෙලාද කොහෙද. ෆිල්ම් එක බලන්ඩ මහා ලොකු සෙනගක් හිටියෙත් නැති හන්දා අපි එලියට ආවෙත් ඇතුලේ විනාඩි විස්සක් විතර පිස්සු නටලා. තව ටිකක් වෙලා ඇතුලේ කෑ ගගහ හිටියනම් ගුටිත් කාලම තමයි එලියට එන්ඩ වෙන්නේ. කොහොමහරි අපි එලියට එනකොට සේරමලා ගිහින්. හෝල් එකෙන් එලියට ඇවිත් අනිත් උන් එහෙමෙහෙ උනාම අරෝශයි මමයි බස් ස්ටෑන්ඩ් එකට ආවේ ඊළඟ බස් එකේම ගෙදර ගිහින් අද රෑටම පාඩම් කරන්ඩ සෙට් වෙන්ඩ හිතාගෙන. ඒ වෙලාවේ ටවුන් එකේ තිබුනේ මාර අව්ව සැරක්. මට මාර තිබහක් තිබුනා. ෆිල්ම් එක ඉවරවෙනකන් පොරි පැකට් එකක් කෑවට බොන්ඩ මොකවත් අරන් ගියායෑ.
"අරෝශ...යමන්ද මොනාහරි බීලම එන්ඩ. මාර තිබහයි බං."
"උබ අරං දෙනවනම් එන්නම්..බස් එකේ යන්ඩ විතරයි සල්ලි තියෙන්නේ අතේ."
"හා යමන්කෝ."
අපි දෙන්නම ගියා සුපුරුදු කූල්ස්පොට් එකට. කූල්ස්පොට් එකට නගින ගමන් සාක්කුව ඇද්දේ සල්ලි හොයන්ඩ. සල්ලි වලට කලින් අතට ආවේ ෆිල්ම් බලපු ටිකට් ටික.
"ඔය ටික ඔන්න ඔහොම දාල යමන්. උබට අමතක වෙලා ඕක කලිසමේම තිබිල අම්මට එහෙම අහු උනොත් වසලා හමාරයි"
අරෝශය එහෙම කියද්දීම ටිකට් ටික ගුලි කරලා පඩි පෙලින් පල්ලේ තිබුණු කාණුවට යවලා ඉවරයි මම. එළියේ ගිනිකන අව්ව උනත් ෂොප් එක ඇතුලේ තිබුනේ සෑහෙන මලානික එළියක්. මේක ගොඩක්ම පිරෙන්නේ ප්‍රේමවන්තයින්ගෙන්. මොකද මේකට යන්නේ එන්නේ කොල්ලෝ කෙල්ලෝ විතරක් නිසා නිදහසේ ඉඳලා යන්න පුළුවන් නිසා. අපි ගිහින් ඉදගත්තේ පඩිපෙළට මෙහා පැත්තේ තිබුණු මේසෙන්. කට්ටිය හිටියෙත් මේස දෙකක විතරයි. ලඟට ආපු අක්කට ඔරේන්ජ් ජූස් දෙකක් ගේන්ඩ කියල ටිකක් උවමනාවෙන් බැලුවේ හිටපු එකම කපල් එක අඳුරන උන් දෙන්නෙක්ද බලන්ඩ. එත් එතන තිබ්බ කනුව නිසා කෙල්ලගේ මූණවත් පිටිපස්ස හරවල හිටපු නිසා කොල්ලගේ මූණවත් පෙනුනේ නෑ. අපිටත් ඉතින් මොකද. අපි දෙන්නත් කූල් ඩ්‍රින්ක් දෙක බොන්න ගත්තා ෆිල්ම් එක ගැන කතා කරකර. ඒත් එක පාරටම අරෝශයගේ සද්දේ නැවතුනා. මං බැලුවේ යකෝ බීම එකේ මොනවත් තිබිලා මූට නින්ද ගියාවත්ද කියලා. මොකද මූ කතාකරන්ඩ ගත්තම නවත්තන එකෙක් නෙවයි හින්දා. මූ කතාවත් නවත්තල බලන් ඉන්නේ නැගිටලා යන්ඩ හදන කපල් එක දිහා. එතකොට මාත් දැක්ක දෙයින් මට බීමත් හිරවෙන්න ආවා. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි. ඔව් ඒ එයාමයි. වෙනින් කවුරුවත් නෙවෙයි. සඳලි අක්කා!!. අපි එයාව දැකලා පුදුම උනාට එයා අපිව දැකලා පුදුම උනේ නෑ. ඒත් එයා මං දිහා බලපු විදිය...වරදක් නොකරපු අහිංසකයෙක් වරදකට අහු උනා වගේ... මට ඒක තේරුම් ගන්ඩ බැරි උනා. එයා සාක්කුවෙන් ලේන්සුව අරන් ආයෙමත් මං දිහා බලල කොල්ලත් එක්ක යන්නම ගියා...
"කවුද බං වරුණ ඒ?"
"අනේ මංදා බං. මාත් දැකලා නෑ ඌව මීට කලින්"
"මතකද මං උඹට ඒ දවස්වල කිව්වා"
"මොකද්ද?"
"නෑ ඉතිං උඹමනේ කිව්වේ සඳලි අක්ක උඹට ලයින් කියලා..."
"අනේ නිකා ඉඳින්...මගුල. වරෙන් යන්ඩ."
"අන්න අන්න උබට අප්සට් ගියා... මාත් එක්ක තරහටද නැත්නම් සඳලි අක්කා යාලු උනු දුකටද?"
"අනේ කට වහන් වරෙන්කො. අපි දන්නවද ඒ කොල්ලාම කියල? මොකෝ යාලුවෙක් වෙන්ඩ බැරිද එයාගේ?"
"අනේ බං මේකට කොයි කෙල්ලද යාලුවත් එක්ක එන්නේ? මොකෝ උඹ මේ බොරු තර්ක ගේන්නේ? සඳලි අක්කටත් හිතේ ඉඩ තියන්ද ඉන්නේ උඹ?"
"සඳලි අක්කට ඉඩ තියෙන්ඩ තිබ්බා රශ්මි හම්බනොවී හිටියනම්. ඇරත් සඳලිට ඉඩ තිබ්බත් රශ්මිට තියෙන ඉඩෙන් කොටින් එකක්වත් නෑ බං"
"හරි දැන් ඒක ඉවරයි. සඳලි අක්කාව අමතකම කරලා දාපං."
"හ්ම්ම් හ්ම්ම්. යමන් දැන්."
අපි එන්න ආවා. පඩිපෙලේදී ආයෙමත් අරෝශයා නැවතුනා.
"මොකද බං ආයෙමත්"
"උඹ ටිකට් ටික විසිකරාද බං සේරම?"
"ඇයි?"
"විසිකරානේ?"
"ඔව්"
"එහෙනම් යමන්. මං නිකන් ඇහුවේ"
"මඤ්ඤංද උඹට"
"නෑ බං. හීන වන ශේෂ ක්‍රමයට මොලේ ටික ටික ක්ෂය වෙනවා වගේ බං"



රශ්මි ගිහින් දවස් තුනක්ම උනා. එදා ස්කොලේ ඇරිලා එනකොට මට රශ්මිව හම්බුනේ අහම්බෙන්. කලින් දවසෙත් අරෝශයත් එක්ක නයිට ගහපු හින්දා හිටියේ හොඳ නිදිමතක. ස්කොල්ලේ ඇරිච්ච ගමන් දුවගෙන ටවුමට ආවේ තියෙන ඉස්සෙල්ලම බස් එකේ ගෙදර ගිහින් හොදට නාලා කාලා නිදාගන්ඩ හිතාගෙන. බස් එකට නගිනකොටම ඒ බෝල ඇස දෙක දැකල මගේ නිදිමත නිකන්ම නැති උනා. ඒ ඇස්දෙක දිහා බලාගෙන හැමදාම උනත් ඇහැරලා ඉන්ඩ පුළුවන් නේද කියල හිතුනා. අමාලියි රශ්මියි ඉඳගෙන හිටපු පිටිපස්සේ සීට් එකේම මමත් ඉඳගත්තා.
"මොකෝ ඇස් රතු වෙලා?පහු ගිය දවස් ටිකේ අඬලද?" අපෝ මේ අමාලිත් හරියන්නේ අරෝශයටමයි. හොරෙන් හොරෙන් රශ්මි දිහා බල බල හිකි හිකි ගගා හිනත් වෙනවා තව.
"අපි කවද්ද ඇඬුවෙ හලෝ" එහෙම කියනගමන් මං බැලුවේ රශ්මි දිහා. කෙල්ල උකුලට වැටිලා තියෙන කොන්ඩ කරල දිහා බලන් හෙමිහිට හිනාවෙනවා.
"රශ්මිට කිව්වද අරක?" මං අමාලිගෙන් හෙමිහිට ඇහුවේ එහා පැත්තේ ඉන්න රශ්මිට නොඇහෙන ගානට.
"මං මොනවද රශ්මිට කියන්නේ?" මෙන්න මේකි හයියෙන්ම කියපි.
"හා හා රශ්මිට කියන්ඩ දෙයක් තියේනම් ඔයාම කියාගන්ඩකෝ" මට මොකුත් කියන්ඩ ඉඩක් තියන්නේ නැතුවම අමාලි නැගිට්ටා. නැගිටලා ජනේලේ අයිනේ හිටපු රශ්මිව මගේ ලඟට දාලා අමාලි ජනේලේ අයිනෙන් ඉඳගත්තා. රශ්මිගේ මූණ රතු වෙලා. ඒ සුදු මූණ රතු උනාම හොඳට පේනවා. පවු කියලත් හිතුනා. කෙල්ල ඉස්සර වගේ මූණ දිහා බලන්නේ නැත්තේ ලජ්ජාවට කියල මට හොඳට තේරුනා. අමාලි අනිවා කියන්ඩ ඇති මං රශ්මි ගැන අහපු විත්තිය. දැන් ඉහතින් වෙනදා වගේ කතා කරන්ඩත් හිතට අමාරුයි.
"ආච්චිට සනීපයිද දැන්?" රශ්මි කතාකරේ නෑ. එත් උත්තර දුන්නා. ඔලුව උඩට පහලට කරලා
"ඊයේද ආවේ ඔයා?" ඒකටත් කට නෑ.
"මොකෝ තරහ වෙලාද කතා නැත්තේ?" ඒකට ඔලුව දෙපැත්තට.
"අපෝ කට දාලද ආවේ ගමේ?" එකට නම් ආයෙමත් එයාගේ ලස්සන හිනාව ආව දෙතොල් අතරට.
"ඇයි ඔයා මං ගැන ඇහුවේ අමාලිගෙන්?" එයා ඒක මගෙන් ඇහුවේ සෑහෙන නිහඬතාවයකට පස්සේ.
"ඔයා....බය වෙලාද ඉන්නේ නංගි?" මං එහෙම ඇහුවේ එයාගේ මූණේ බයක් සටහන් වෙලා තිබුණ හින්දා.
"ඇයි කියන්නකෝ..."
"මට හැමදේම ඔයාට කියන්න ඕනේ වෙලා තමයි හිටියේ රශ්මි. එත් මට ඔයා එක්ක හරියට කතාකරන්නවත් හම්බුනේ නෑනේ. අදත් මේ ඔයාව හම්බුනේ අහම්බෙන්නේ. මට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒත් මෙහෙම බස් එකකට වෙලා ඔයාට ඒවා කියන්න බෑ නංගි."
"හ්ම්ම්...එහෙනම් වෙන දවසක වෙන කොහේදීහරි හම්බුනාම කියන්නකෝ."
"ඇයි එහෙම කිව්වේ?"
"මං කොල්ලෙක් එක්ක කතාකරකර ඉන්නවා දැකල කවුරුහරි නැන්දට කිව්වොත් එහෙම මට නැන්දා බනී..."
"එහෙම කාවුරුහරි දැක්කේ නැත්නම් කමක් නැද්ද?" මං එහෙම ඇහුවම රශ්මිගෙ මූණ ආයෙමත් රතු උනා. කෙල්ලට ලැජ්ජා හිතුනා. අපි සෑහෙන වෙලා කතා කරකර ආවා. අපි බහින තැනත් ලංවුනා. යුනිෆෝර්ම් එකෙන් හිටියේ නැත්නම් අමාලිලගේ ගෙවල් ළඟටම ගිහින් එන්න තිබ්බා. අපි මෙහෙම ගියොත් එයාලට ප්‍රශ්නයක් ඇතිවෙයි කියල මට බය හිතුනා, අරෝෂයට බහිමු කියලා මං සීට් එකෙන් නැගිට්ටේ ඇඟේ තිබ්බ සේරම හයිය එකතු කරලා අරගෙන "මං ඔයාට හුඟාක් කැමතියි නංගි" කියල රශ්මිට කියලා. මං එහෙම කියද්දී එයා මගේ මූණ දිහා බලපු හැටි තවමත් මට මතකයි. ඒ බෝල ඇස් දෙක ලොකූ කරගෙන...බෝනික්කියක් වගේ...මට කියාගන්න ඕනෙම උණු දේ....හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ විසඳුනා කියල මට දැනුණා. එදා මං ගෙදර ආවේ කවදාවත් හිතේ නොතිබුණු සතුටකින්. රශ්මිගෙන්  අකමැත්තක් නැති බව මට තේරුණ හින්දා.

ප.ලි.
කතාව හිතුවට වඩා කලින් ඉවර කරන්න වෙනවා මට. ඉස්සරහට මට ලියන්න වෙලාවක් නැතිවේවි ටිකක් කල් යනකන්. ඉතින් ඒක නිසා ටිකක් දිග කොටස් කීපයකින් මේක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉස්සර ටිකයි ටිකයි කියපු අය දැන් වැඩියි වැඩියි කියන්න එපා....

8 comments:

  1. මේක මොන වැඩියක්ද බං.. හැබැයි කලබලේ කතාව ඕනවට එපාවට ඉවර කරන්න එපා..

    ReplyDelete
    Replies
    1. හික් හික්. එහෙම වෙන එකක් නෑ නේද...

      Delete
  2. අපි යංද කියලා අහන එක ඉමල්ක අහන්නේ යමංද කියල නේද?
    යමංද මොනව හරි බීලම එන්ඩ?


    හහ් හහ් හා, කොහොම හරි කියාගත්තා නේද? මොකුත් නෑ මාසයක් මලබද්ධෙන් පීඩා වින්ද එකෙකුට බඩ ගියාවගේ ඇති.
    චික් හරි කැතයි උපමාව නේහ්?
    ඇයි උඹත් කියන්නේ බෝල ඇස්ගෙඩි දෙක කියලා. :D

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් පුරුද්ද වෙන්ඩ ඇති නේද ඩූඩ්?
      උපමාව? අසික්කිතයිද මංදා. හැබැයි එකත් පොඩි ගතියක් තියෙයි.
      බෝල ඇස් කියන්නේ මං නෙවෙයි. වරුණයා. :P

      Delete
  3. ඉවර කලත් හරියට ඉවර කරන්න

    ReplyDelete
  4. අපෝ.... දිග වැඩි නෑ පොඩ්ඩක්වත්.හැබැයි ඉතිං ඉක්මනින් ඉවර කරනවා කියල උඩින් පල්ලෙන් එහෙම ගහනවා නෙමෙයි හරිද?

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...