සංසාර සංචාරේ...දාහතරවන දිගහැරුම...

කලින් කොටස්

"දැන් එතකොට සඳලි හදන්නේ උඹේ කරේ එල්ලෙන්නද?"
"එහෙම නෙවෙයි බං අරෝශ. උඹ එයාට බනින්ඩ එපා බං. උඹ එයා ගැන කොහොම හිතනවද මංදා බං. එයා පව්."
"නදීරද මොකාද එකත් මහා ජරා යකෙක්නේ බං. සඳලිට ඔහොම කරලා ඌ කොහොමද දන්නෑ හැපියේ ඉන්නේ?"
"ඌගෙ හිතේ සඳලිට මෙහෙම කරන අදහසක් තිබ්බේ නැද්ද දන්නේ නෑනේ බං."


"හරි. මෙහෙම හිතපන් වරුණ ටිකක්...ඌ සඳලිව අමාරුවේ දාලා, මාරු වෙන්ඩ ඕනෙකමට බොරුවට තාත්තා පිට දාල රට පැන්නද කවුද දන්නේ?"
"එකත් එහෙම තමා බං. අනේ මංදා..."
"හරි දැන් රශ්මි ගැන මොකෝ?"
"තවම ඇවිත් නෑ බං එයා මෙහෙ."
"ඒ මොකක් වෙලාද? මෙච්චර දවස්?"
"අමාලිවත් හම්බුනේ නෑ මට. උඹටවත් හම්බුනාද?"
"නෑනේ. ඕනෙනම් යන් බලන්ඩ..."
"හෙට අමාලිට ක්ලාස්නේ. ටවුමට ගිහින් බලමු හවස."
"හරි මචං. එහෙනම් මං ගියා"
අරෝශයා නැගිටලා ගිහින් බස් එකෙන් බැස්සා,එතන ඉඳන් මං කල්පනා කරකර ආවේ රශ්මි ගැන. සඳලිත් එහෙන් මෙහෙන් හිතට නොආවා නෙවෙයි. එත මට හැමදාම ඕනේ උනේ රශ්මිත් එක්ක ඉන්න. සඳලිට උදව් කරන්න විතරයි මට ඕනේ උනේ..
-----------------------------------------------------
පහුවදා හවස අරෝශයත් එක්ක අමාලිවවත් හම්බෙලා බලන්න කියලා ටවුමට ගියත් හිතේ පොඩි බලාපොරොත්තුවකුත් තිබුනා රශ්මිත් ඇවිත් හිටියොත්වත් කියලා. අපිට ගොඩක් වෙලා බලන් ඉන්න උනේ නෑ. ස්ටෑන්ඩ් එකේ එහා කොනෙන් මතු උනේ අමාලි. එත් රශ්මි හිටියේ නෑ... ඒ කියන්නේ අදත් රශ්මි ඇවිත් නෑ කියන එක. බස් එක තවම ඇවිත් තිබුනේ නැති නිසා අමාලි බස් එක නවත්තන තැනට ඇවිත් නැවතුනා. සැලුන් එකට වෙලා හිටිය මම අමාලි ලඟට ගියේ රශ්මි ගැන අහන්න. මං එනවා දැකපු අමාලි බිම බලාගත්තේ නිකං කියලයි මං හිතුවේ. මං අමාලි ලඟට ගිහින් කතාකලා.
"අමාලි...අදත් තනියම...රශ්මි ආවේ නැතිද?"
"වරුණ අයියේ මේ....ආයේ ඔයා රශ්මි ගැන අහන්න ඕනෙත් නෑ. අපි එක්ක කතාකරන්න ඕනෙත් නෑ. අඩුම ගානේ අදින් පස්සේ අපි ඔයාගේ යාලුවොවත් නෙවෙයි හරිද..."
අමාලි එකපාරට එහෙම කිව්වේ මූණත් හොඳටම කළු කරගෙන ගොඩක් තරහෙන්. මට එකපාරටම මුකුත් හිතාගන්න බැරි උනා.
"මොකද අමාලි මේ?"
"මොකද? මොකද කියල ඔයා මට වඩා හොඳට දන්නවනේ වරුණ අයියේ... අර අහිංසක කෙල්ලටත් බලාපොරොත්තු දීලා එයා මෙහෙ නැති අතරේ ඔයා කරන දේවල් හරිද වැරදිද කියල ඔයාම කල්පනා කරලා බලන්ඩකෝ"
"මුකුත් දන්නේ නැතිව ඔහොම කතාකරන්න එපා අමාලි"
"මුකුත් දන්නේ නැතිව නෙවෙයි වරුණ අයියේ. ගොඩක් කට්ටිය ගොඩක් දේවල් දන්නවා. එත් කවුරුවත් දන්නේ නැත්තේ ඔයා සඳලි අක්කත් එක්ක යාළුවෙලා ඉද්දීම රශ්මිත් එක්කත් යාලුවෙන්ඩ හැදුවේ ඇයි කියලයි. ඔයා ඒ කෙල්ලව කෑවා වරුණ අයියේ. ආයේ අපිත් එක්ක කතා කරන්න එන්න එපා. රශ්මිත් මේ හැමදේම දන්නවා. එයා අමාරුවෙන් හරි හිත හදාගනී. ඔයා ඒ කෙල්ලට දුන්නු දුකට ඔයාට ගොඩක් පව් පිරෙයි අයියේ. ආයෙම කවදාවත් කෙල්ලෙක්ට මෙහෙම කරන්න එපා. මං යනවා." එහෙම කියල අමාලි ගිහින් ඒ වෙනකොටත් ඇවිත් තිබුණු බස් එකට නැග්ගා. මට මේ උණු හැමදේම ඇත්තක්ද බොරුවක්ද කියල හිතාගන්න බැරි උනා.
"වරුණ..."
ඒ වෙනකොටත් එතනට ඇවිත් හිටපු අරෝශයා මට කතා කරාට මට කතාකරගන්නවත් බැරි උනා.
"මචං වරුණ..."
"ම්...."
"අප්සට් තමයි මචං. වැඩිය සික් ගහන්නේ නැතිව හිටහන්කෝ. මේක කොහොම හරි විසඳගමු."
"විසදන්න දෙයක් ඉතුරු වෙලා නෑ වගේ බං."
"නෑ නෑ බං. මේකත් හෙමීට විසඳගමු. වරෙන් දැන් කල්පනා කරා ඇති. ඊළඟ බස් එකේවත් ගෙදර යමු."
මට එදා වෙනදා වගේ ඉක්මනට ගෙදර යන්න ඕනේ කමක් තිබුනේ නෑ. බස් එකට නැග්ගෙත් අරෝශයට තිබුණු උවමනාවට. බස් එකෙන් බැහැලත් ගෙදර ගියේ අඩි දෙකට අඩියක් පස්සට තියන ගමන්. මං හිටපු තත්වේ කියාගන්න පුළුවන් කමක් මට නෑ. මං ගෙදර ලංවෙනකොට දැක්කේ උළුවස්සට හේත්තු වෙලා ඉන්න අක්කව. මූණත් එල්ලගෙන ඔහේ පැද්දී පැද්දී එන මං දිහා අක්කා බලාගෙන හිටියේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.
"මොකද තමුසෙ මූණ එල්ලගෙන? සඳලි අරුත් එක්ක පැනල ගිහින්වත්ද?"
අද දවසට දෙවෙනි වතාවටත් මගේ ඔලුවට හෙන ගැහුවා වගේ උනා. ඉස්සෙල්ල අමාලි. දැන් අක්කා. මොනවද මට මේ වෙන්ඩ යන්නේ කියල මට තවමත් හිතාගන්න බෑ. ළඟම තිබුණු මල් පෝච්චියට පයින් පාරක් ගැහුවේ හිතට එක පාරටම ආපු තරහටද නැත්නම් දකින්නේ හීනයක්ද කියල බලාගන්ඩද කියල මට මතක නෑ. හැබැයි කකුලනම් රිදුනා.
"මොනවද මල්ලි තමුසේ මේ කරන වැඩ? රටේ ලෝකේ වෙන කෙල්ලෝ නෑ වගේ සඳලි එක්ක එල්ලිලා තමුසේ නටන නාඩගම්?"
අක්කා මගේ අතින් අදින ගමන් අහනවා. එයා ඉන්නේ හොඳටම තරහ ගිහින්.
"අක්කේ ප්ලීස්... ඕක ගැන පස්සේ කතාකරමු. මට දැන් මගේ පාඩුවේ ඉන්ඩ දෙන්ඩ." එදා රෑ මට නින්ද ගිය වෙලාව මමවත් දන්නේ නෑ.
පහුවදා සඳුදා දවසක් උනාට මට ඉස්කෝලේ යන්ඩ හිත දුන්නේ නෑ. ෆෝන් එකත් ඔෆ් කරලා දාල කල්පනා කරන්ඩ ගත්තේ මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් විදියක් ගැන. මේවා ඉක්මනටම බේරුමක් කරගත්තේ නැතිනම් විභාගෙන් ගොඩයෑම හීනයක් වෙන එකනම් හුළඟට මලක් හෙලවෙනවා වගේ ස්ථීරයි.
"මොනවද දැන් කල්පනා කරන්නේ?"
අක්ක කාමරේට එබිලා ඇහුවේ කොච්චර වෙලා මං දිහා බලාගෙන ඉඳලද කියන්ඩ මං දන්නේ නෑ. මං මුකුත් නොකියා හිටියේ මොනවා කියන්ඩද කියල හිතාගන්ඩ බැරි වෙච්චි හින්දා.
"ඇයි මල්ලි ඔයා සඳලිත් එක්කම යාලු උනේ? එයාට කොල්ලෙක් ඉන්න බව දන්නේ නැතිවද?"
අක්ක එහෙම අහද්දීනම් ඊයේ එයාගේ තිබ්බ තරහ චුට්ටක්වත් තිබ්බේ නෑ.
"මං සඳලිත් එක්ක යාලු නෑ..."
"එහෙනම්...එහෙනම් මොකටද සඳලිත් එක්ක ගාඩ්න් ගියේ?"
"කවුද කිව්වේ? ඔයා දැක්කද?"
"මල්ලි...මට බොරු කියන්න එපා හරිද...මං දන්නවා ඔයා ගිය විත්තිය. ඒකෙ දැන් හංගන්න දෙයක් නෑ."
"හරි. මං ගියා තමයි. ඒත් මං සඳලිත් එක්ක ඔයාල හිතන වගේ සම්බන්දයක් නෑ. හරිද?"
"එහෙම සම්බන්දයක් නැතිනම් මොකටද මල්ලි ගියේ? ඊයේ උදේ ක්ලාස් එකේදී මගේ යාලුවෙක් මට කිව්වේ ඔය දෙන්නව ගාඩ්න් එකේදී දැක්කා කියලා. සමාධිත් හිටියා එතන. සමාධිනම් කමක් නෑ. තව කීදෙනෙක් දන්නවා ඇතිද බලන්නකෝ. අම්මා එහෙම දැනගත්තොත්? ඔයා ටිකක්වත් හිතුවේ නැත්ද ඒ ගැන? ආ? සඳලිගෙ අතින් අල්ලන් ටවුන් එකේ ඇවිදින කොල්ලා දැනගත්තොත්? ආ? ඔයාට කරදරයක් නොකරයිද?" අක්කා එකදිගට කියවගෙන ගිහින් නැවැත්තුවේ ඉකිගහන්න පටන් අරන්.
"අක්කේ...මේ අහන්න. මං සඳලිත් එක්ක යාලු නැහැ. ඒත් සඳලිට ලොකු ප්‍රශ්නයක් වෙලා. එයා ඒකට මගෙන් උදව් ඉල්ලුව. එච්චරයි."
අක්කා කඳුළු පිහදාගෙන මං කියපු සඳලිගෙ කතාව අහගෙන හිටියා.
"හරි මල්ලි. මට තේරෙනවා සඳලි ඉන්න තත්ත්වේ. ඒත් මට නොතේරෙන්නේ එයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ඔයවගේ ප්‍රශ්නවලට අත දාන්න එපා මල්ලි. නදීරලා කොහොම මිනිස්සුද කියන්න අපි දන්නේ නෑනේ. අන්තිමට ඔයාට ප්‍රශ්න වැටෙයි. ඔයාල මේ ගිය ගමන ගැන අපි දැනගත්තා වගේ නදීර දැනගත්තොත්? නදීර හදන්නේ සඳලිව මග අරින්නනම් මේකත් හොඳ හේතුවක් වෙයි එයාට. ඒ හින්දා කල්පනා කරලා බලන්ඩ මල්ලි. ඔයා යාළුවෙලා නැතිනම් ඉක්මනටම සඳලිගෙන් ඈත් වෙන්න. යාළුවෙලානම් ඒත් සඳලිගෙන් ඈත් වෙන්න මල්ලි. බොරුවට ලෙඩ දාගන්න එපා. මේ ප්‍රශ්න ඔලුවෙන් අයින් කරලා දාලා වැඩ කරන්ඩ."
අක්කා අන්තිමට එහෙම කිව්වේ ගොඩාක් හැඟීම් බරව. ගොඩක් ආදරෙන්.
"හ්ම්ම්...දැන් මූණ හෝදන් පාඩම් කරන්ඩ ගන්නවා..." එහෙම කියල අක්ක යන්න නැගිට්ටා. මං අක්කගේ අතින් අල්ලලා අපහු ඉන්දවගත්තා.
"මේක නෙවෙයි හලෝ ප්‍රශ්නේ. වෙනම ලොකු ප්‍රශ්නයක් තියෙනවා."
මං එහෙම කිව්වම අක්කා ඇස් දෙකත් ලොකු කරන් මං දිහා බැලුවා.
"එහෙනම් මොකද්ද ප්‍රශ්නේ?"
"සමාධි අක්ක දැනගත්තු එක?"
"ඒ මොකද්ද ඒ කතාවේ තේරුම?"
"එකත් ටිකක් දිග කතාවක්."
"මේ පහුගිය දවස් ටිකට ඔයාට මාර කතා ගොඩක්නේ එකතු වෙලා තියෙන්නේ මල්ලි. හරි කියනවකො දැන් මේකෙන් සමාධිට තියෙන වැඩේ මොකද්ද කියල?"
"මං රශ්මිට කැමතියි අක්කේ. මං අහලත් තිබුනේ රශ්මිගෙන්. ඊයේ සමාධි අක්කා ගෙදර ගිහින් විස්තරේ කියලා. අමාලි මට ටවුන් එකේදී බැන්නා හොඳටම" මං එක පාරටම අක්කට කියලා දැම්මා. අක්කට එක පාරට කතාකරගන්නත් බැරි උනා.
"ඔයාටනම් ගහන්ඩ වටිනවා මල්ලි. හොරාට හොරාට සේරම දේවල් කරලා මෙයා... මටවත් කියන්නේ නැතිව." අක්ක එහෙම කිව්වේ නෝක්කාඩුවට වගේ.
"එහෙම කිය කියා කරන්න බෑනේ හලෝ මේවා..."
"හ්ම්ම්...රශ්මිනම් හරිම හොඳ ගෑනු ළමයෙක්. ඒත් මල්ලි ඔයාලට ඕවා හිතනවට වඩා හිතන්න වෙන දේවල් තියෙනවනේ. අනික දැන් ඒ ළමයා මේක දන්නවනම් ගොඩක් දුකෙන් ඇත්තේ. ඉක්මනට මේ සේරම විසඳගන්න"
"හ්ම්ම්..."
"අනික මල්ලි මට සමාවෙන්න. සඳලිගෙ ප්‍රශ්නේ හින්දා මට මේකට මැදිහත් වෙන්න බෑ. ඒ හින්දා ඔයාම මේවා බලාගන්න. හැබැයි එකක් මතක තියාගන්න. ඔයා මොනදේ කරත් එක්සෑම් එක ගොඩදාගන්න ඕනේ."
එහෙම කියල අක්ක යන්න නැගිට්ටා.
"අක්කේ..."
"ඇයි?"
"මට එකම එක උදව්වක් කරනවා. රශ්මිත් එක්ක කතාකරන්න එකම එක චාන්ස් එකක් අරන් දෙනවකො...රශ්මිත් එක්ක කතාකරොත් මේක විසඳගන්න පුළුවන්."
 මං එහෙම කිව්වේ ඇත්තටම ලොකු බලාපොරොත්තුවකින්.
"හ්ම්ම්...අපි බලමුකෝ..."
එහෙම කියල ලාවට හිනා වෙලා අක්කා යන්න ගියා....


facebook comments...

9 comments:

  1. අපෝ.... කොල්ල විහින්නේ ලෙඩ දා ගත්තේ. මං හිතුවා රශ්මි ඕක දැන ගනී කියල.....

    ReplyDelete
    Replies
    1. මාත් කිව්වා ඕකාට කැට කැඩෙනකන්. ඇහුවද? නෑනේ...

      Delete
  2. //මට එකම එක උදව්වක් කරනවා. රශ්මිත් එක්ක කතාකරන්න එකම එක චාන්ස් එකක් අරන් දෙනවකො..//

    මේ ලැබෙන එකම චාන්ස් එකෙන් වැඩ ගන්න පුලුවන් උන් කොච්චර ඉන්නවද බොල ?

    ජය !

    ReplyDelete
  3. මේ පාර action packed thriller එකක්නේ බං මේ කතාව.

    මම නම් කියන්නේ අක්කා වැඩේ සෙට් කරනවා.

    ReplyDelete
    Replies
    1. අක්කා වැඩේ සෙට් කරයිද අල කරයිද දන්නේ නෑ ඩූඩ්...

      Delete
  4. නිකං ටිංකිරි ගාගන්න හදන්නේ මේ ගැටයා

    ReplyDelete
    Replies
    1. ටිංකිරිත් රහයිනේ දේශකයෝ...! ;)

      Delete
  5. ඉතුරු ටිකත් ලියමුද

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...