හුණු සෙල්ලං

අපිනම් මෙහෙම කරදර කරේ නෑ ගුරුවරුන්ට. පවුනේ එයාලත්.
අපි සේරම ස්කෝලේ ගිය උන්ය. ඒ කාලේ තරම් සුපිරි කාලයක් ආයේනම් ලොවෙත් ලබන්නෙම නැතිය. ඉතින් දැන් ස්කොලේ යන එකෙක් දැක්කත් හිතට සූටි ඊරිසියාවක් දැනෙන්නේ නෑ කිවොත් නම් බේගලයක්ය.

මටනම් ස්කෝල කාලේ අවධි හතරකි.
1. 1වසර සිට 5වසර දක්වා - මූලික පාසල් අවධිය
2. 6වසර සිට 8වසර දක්වා - නිද්‍රාශීලී අවධිය.
3. 9වසර සිට 11වසර දක්වා - සුපිරි අවධිය
4. 12 සහ 13 වසර - සුපිරි අවධිය2



මං හිතන විදියටනම් අපේ පරම්පරාවේ ළමයි සියල්ලකගේම පාසල් කාලය මේ අයුරු විය යුතුය. අපේ අම්මලට තාත්තලට වගේ සුන්දර ළමා කාලයක්නම් අපිට තිබුනේ නැති බව අවිවාදාත්මකය. ඒ වැඩිහිටියන්ගේ කුඩා කල කතා අසන, අසා ඇති ඕනෑම අයෙකු මා හා නිසැකවම එකඟ වෙනු නොඅනුමානය. ඒ කාලේ කතා අහද්දී, අපේ කාලේ මෙහෙම නම් ඒ කාලේ කොයිතරම් සුන්දරද කියා සිතෙනවිටනම් ඇතිවන්නේ මට මා ගැනම සියුම් දුකකි. අපි ගෙවා ඇත්තේ කිනම් ළමා කාලයක්ද කියා සිතේ... අනේ අපේ ළමා කාලේ...

මං මුලින් කිව්ව 1වසර ඉඳන් 5වසර වෙනකන් නිද්‍රාශීලී අවධිය කිව්වේ ඒ කාලේ ඔහේ ගෙවුන නිසාය. ඒ දවස්වල අපිට තිබුන ලොකුම දේ සෙල්ලං කිරීමය. 1,2,3,4 වසරවල ඔට්ටු දිව්වෙමු. දෙකස් ගැහුවෙමු. හැංගිමුත්තන්, හොරා පොලිස්, ක්‍රිකට් එකී නොකී මෙකී ක්‍රීඩා, පන්තියෙත් පාසල පුරාමත් කළෙමු. 5වසරෙදි අපිට අලුත්ම අළුත් ක්‍රීඩාවක් සෙට් විය. අපිනම් එකට කීවේ "පෑන් ගැසීම" කියාය. මුලින් මුලින් සෙල්ලමට කල ක්‍රීඩාව පසුව ඔට්ටු ඇල්ලීම දක්වා වර්ධනය වුනි. එකල අප අතර වටිනාම දේ වුයේ ස්ටිකර් ය. එදවස අපිට ස්ටිකර් එකතු කිරීමේ මහා රෝගයක් වැළඳී තිබුණි. මා ලඟත් ස්ටිකර් 10000ක පමණ එකතුවක් තිබුණි. දැනටත් එයින් සෑහෙන ප්‍රමාණයක් මා ළඟ ඇත. ඉතින් අපි එදවස පෑන් ගැසුවේ ස්ටිකර් ඔට්ටු වලටය. අශ්ව රේස් වලට විශේෂිත අස්සයන් සිටිනවාක් මෙන් අපේ පෑන් ගැසීමටත් විශේෂයෙන් නිපදවාගත් පෑන් තිබුණි. මා නිපදවාගත් තොප්පිය කැපූ යකඩ ඇනයක් බහාලූ පෑනේ පිහිටෙන් සෑහෙන ස්ටිකර් තොගයක් දිනාගැනීමට මට හැකි විය.  පසුව එය කෙමෙන් වර්දනය වී මුදල් ඔට්ටු පවා බිහිවුනි. ගුරුවරුන්ට මාට්ටු වී කන මිරිකවාගත් අවස්ථාවන්ද නැතිව නොවේ!

කියන්නට ආවේ මේක නෙවෙයිනේ. ඔන්න දැන් කියන්ඩ ආපු කතාව.
මේ සිද්දි උනේ අපි 10 සහ 11 වසරවල. 6වසරෙ ඉඳන් අනිත් පන්ති සියල්ලක්ම වසෙර් වසෙර් සිසුන් කලවන් කරලා පන්ති කැඩුවට 6 ඉඳන් 11 වෙනකන් අපේ පන්තිය කවදාවත් කැඩුවේ නැත. ඉතින් හිටියේ අවුරුදු ගානක් එකට ඉඳල හොඳටම සෙට් වෙච්ච සෙට් එකක්ය. අපිට 6 වසර ඉඳන් කෙල්ලෝ අරහන්ය. නමුත් 9වසර මැදක් වෙනවිට උනුත් අපිට සෙට් ය. ෆ්‍රී පීරියඩ් වල එලියට බැස්සත් ගුරුවරු එන්න පමා වූ විට අපි කලේ හුණු කෑලි වලින් ගසාගනීමය. හුණු ගසාගැනීම සඳහා කණ්ඩායම් බෙදීම සිදුවන්නේ අවස්තානුකූලවය. එක්කෝ කොල්ලෝ vs කෙල්ලෝ ය. එක්කෝ ඉදිරි පෙළ කොල්ලෝ සහ කෙල්ලෝ vs පසුපෙළ කොල්ලෝ සහ කෙල්ලෝ ය.

දිනක් තුන්වන ලෝක යුද්ධය ආරම්භ විය. ඇති දැවැන්ත පහරවල්ය. බෑග්, පොත් වල ආවරණය ලබමින් යුද්ධය ජයටම කෙරීගෙන යයි. සමහරෙක් ඩෙස් යටය. කොල්ලන්ගෙ පාර්ශවයෙන් දැවැන්ත පහරක් එල්ල වුනි. අහෝ! මූණ දෑතින්ම වසාගත් රණශූරියක් ඔලුව මේසයෙන් තියාගත්තාය. හුණු උණ්ඩය හරියටම ඇගේ ඇසකට එල්ල වී ඇත. මට මතක හැටියටනම් ඇගේ දකුණු ඇසය. කරුමෙටද වෙලාවටද මංදා ගුරුවරියත් පන්තියට ආවාය. අනේ ඉතින් ගහපු එකා පන බයේය. අපිත් බයේය. ඇයි ඉතින් ඇහෙනේ. අනික ඒ කෙල්ල සහ කොල්ලා එක ගමේය. අවුලක් උනොත් අහිංසක කොල්ලා ගමේ ඉඳලත් හමාරය. කෙල්ලගේ තාත්තා ඒ තරම් වසය. කෙල්ලගේ පියාට පාසලට පැමිණෙන්න කියා ක්ෂණිකව කෙල්ලව ගෙදර යවන ලදී. යුද්ධය නැවත ඇරඹෙන තුරු එදිනට නවතන ලදී. එදින ඉතිරි කාලච්චේද සියල්ලක්ම ප්‍රහාරය එල්ලකළ එකා බය කරමින් ගතකලෙමු. ඌ එදා ගුටි කෑවා යැයි මතකයක්නම් නැත. ඒ නම් ගැහුවේ ඌ කියා දැනගෙනත් ඌව පාවා නොදීමේ සහෝදර ප්‍රේමයක් ගැහැණු ළමෝ සහ අපි අතර පැවතී නිසාවෙනි.

මේ තවත් හුණු සිද්දියක්ය.
සිද්දියට අදාළ පුද්ගලයාට අපි "මාරිම්බා සංගීතේ" වැනි නමක් කීවෙමු.(ඔහුට එදවස කී නම මතකයේ ඇතත් මෙහි පල කිරීමට අකමැත්තෙමි). අපි ඌට "මාරිම්බා සංගීතේ" කීවේ ඒ කාලයේදී ඌ සෑමවිටම beat boxing කල නිසාය.

ඒ අපේ සිංහල පීරියඩ් එකයි. ආතල්ම පීරියඩ් වලින් එකකි. මැඩම් හැමදාම උගන්නනාවය. එත් කවදාවත් ඉගෙන ගන්න එකෙක්නම් සිටියා කියා මතකයක් නැත. එදිනත් වෙනසක් නැත. මැඩම් පන්තිය ඉදිරියේ පාඩම කියවා පැහැදිලි කරමින් සිටී. අපි පොත් දිගහැරගෙන අපේ කතාවල නිරත වෙමින් සිටියෙමු. මැඩම් ඒ බව දැන දැන දෙතුන් වතාවක්ම අපිට අනතුරුත් ඇ‍ඟෙව්වා මතකය. නිශ්ශබ්ධ්තාවය එවෙලෙට පමණී. විනාඩියක් යාමට මත්තෙන් නැවතත් අපි අපේ වැඩවලය. සමහරෙක් clip ගසති. සමහරෙක් පෑන් ගසති. තවත් අය බොරු කියති. මාරිම්බා සංගීතේ එවේලේත් සංගීත සංදර්ශනයක මෙන් තනිවම  beat boxing පාරකි.

අනේ ඉතින් ඉවසල ඉවසල ඉන්ඩම බැරි තැන අපේ සිංහල මැඩම් මාරිම්බාට ගැහුවා අතට අහුවුණු එකෙන්. අරුගේ වෙලාවට මැඩම්ට අහුවුනේ හුණු දාල තිබ්බ ලෑලි පෙට්ටිය නෙවෙයි. ඒක උඩින් තියල තිබ්බ හුණු කොට්ටේ. හුණු කොට්ටේ වැදුනේ මරිම්බාගේ මූනේ. හරියටම කොහේ වැදුනද කියල අපි දැක්කෙත් නැ. ඌ කරේ හුණු කොට්ටේ වැදුණු ගමන් පුටුව පස්සට කරලා බිමට නැවිලා මූණ වහගන්න එක. අපිට හෙන අවුල. අපිට වඩා මැඩම් බය උනා. අරූ මූණ වහගත්තු හැටියටනම් අනිවාර්යෙන් ඇහැට හුණු ගිහින්. "මැඩම් බය වෙච්ච පාර අනේ පුතේ ගිහින් ටක් ගාල මූණ හොදගන්ඩ" කීව. අපෙන් එකෙක්ටත් යන්ඩ කීවා. කොහොමහරි හෝදගෙන එහෙම ආවට පස්සේ මැඩම් අහනවා
"අනේ පුතේ මොකද? හුණු ගියාද ඇහැට?" අරකද...මේකද ප්‍රශ්න එලෝ කෝටියයි. අරු කියනවා
"නෑ මැඩම් ගොඩක් ගියේ නෑ. ටිකයි ගියේ. හොදගත්තනේ මැඩම්. අව්ලක් නෑ. ටිකක් දනවා. එච්චරයි" කියල. කොහොමහරි එදා ආයේ පාඩම කරෙත් නෑ. අපි කෑගහන එක නැවත්තුවෙත් නෑ. මැඩම් නම් ආයේ හුනුකොට්ටෙන් ගහන්ඩ නැතිව ඇති කාටවත්. මොකද එයා ඒ අවුරුද්දේ විශ්‍රාම ගිය හින්දා. සිංහල පීරියඩ් එක ඉවර වෙලා මැඩම් පන්තියෙන් ගියාම එකෙක් ඇහුව
"මචං සිරාවටම ඇහැට හුණු ගියාද?" කියල.
අරූ හිනාවෙවී කීවේ
"නෑ බං. හුනුකොට්ටේ වැදුනේ කම්මුලේ බං" කියල. ඌ මැඩම්ව බය කරලා තියෙන්නේ බොරුවට!

13 comments:

  1. අම්මෝ ඒ කාලේ මාත් හුණු කොට්ට පාර කාලා ඇති මදි නොකියන්නම

    ReplyDelete
    Replies
    1. නිකං ඉඳල වෙන්ඩ ඇති නේද නලීන් අයියේ? :p

      Delete
  2. අපි නම් තවම සුපිරි අවධිය2 ගතකරනවා....සුපිරි කතා දෙක...

    ReplyDelete
    Replies
    1. ඒමද. හොඳින් ගතකරහන් මලේ. ආයේ නෑ!

      Delete
  3. මට ගහන්න හිතෙනවා බං කාට හරි හුණු කෑල්ලකින් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හුණු කෑල්ලෙන් ගැහුවට ගෙදර එක්කරන් යන්නේ නෑ රජෝ! :P

      Delete
  4. හයියෝ ඔය කාලේ අපිනං කරේ හුණු සෙල්ලං නෙවේ හු ... සෙල්ලං

    ReplyDelete
    Replies
    1. හරි අපූරු ස්කෝලයක් වෙන්ඩඇති නේද ඒක?

      Delete
    2. moda katha, kisima athal ekak nathi school life ekek umbata thibila thiyenne

      Delete
  5. හැමෝටම පොදු විදිහට සියල්ල සිද්ද වෙලා තියෙනවා.

    හුණු කොට්ටෙන් මරා ගැනිලි
    පෑන් ගේම් වලදි පෑන ඇතුලට බරක් යෙදීම්

    මේව තමා බං ඒ කාලෙ සුන්දරයි කියල හැම එකාම කියන හේතුව :)

    ජය !


    පලි- මම ඉස්කෝල ආතල් ගැන මුල්ම කාලෙ ලිව්වා. බලපං !

    ReplyDelete
    Replies
    1. මං කියෙව්වා! සුන්දරයි නේන්නං! :)

      Delete
  6. සුන්දර මතකයන් නේද.... මේවා කියවනකොට හිත ඉබේම ඉස්කෝලේ කාලෙට යනවා....

    ReplyDelete
    Replies
    1. හිත විතරක් නම් මදෑ! මටත් ආයේ යන්ඩ හිතෙනවනෙ!

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...