සංසාර සංසාරේ...දොළොස්වන දිගහැරුම...

කලින් කොටස්






රශ්මි මට කැමතියි කියලා එයාගේ කටහඬින් අහගන්න මං හුඟාක් ආස කෙරුවා. ඒත් තවමත් මට ඒ අවස්තාව උදා උනේ නෑ. එදා බස් එකේදී හම්බුනාට පස්සේ අපිට ආයෙම හම්බෙන්න බැරි උනා. පහුගිය දවස් ටිකේම දුවගෙන දුවගෙන ස්කොලේ ඇරිච්ච ගමන් ටවුමට ආවට ඒ එක දවසක වත් රශ්මිව හම්බුනේ නෑ. ඒත් හෙට දවස ගැන මට ලොකු බලාපොරොත්තුවක් තිබුනා. ඒ හෙට පෝය දවසක් නිසා.
අම්මලටත් කලින් පංසලට ගිහින් බලන් හිටියේ රශ්මි එන්නේ කොයි වේලාවේද කියලා. මීට කලින් දවසක් රශ්මි බලන්ඩ පංසලට ආපු දවස...එයා හිටියේ නැති උනාම හැමතැනම එයාව හොයපු හැටි, ගෙදර ගියා කියල දැනගත්තම ඇතිඋනු දුක...ඒ හැමදේම මට එකින් එකින් මතක් උනා. මං පියවි සිහියට ආවේ සුදුම සුදු ගවුමක් ඇඳලා පිටිපස්සට කරලා පටියකුත් ගැට ගහලා කොන්ඩ කරල් දෙකක් බැඳලා සුරංගනාවියක් වගේ ආපු රශ්මිව දැකලා. ඒ ගවුමට එයාගේ තිබුණු චාම් බව තවත් වැඩිවෙලා පුදුමාකාර ලස්සනක් මැවිලා තිබුනා. මට ඉස්සරහට ගිහින් අතින් අල්ලන් එක්කගෙන එන්ඩ තරම් ආසාවක් ආවා. එත් පිටිපස්සෙන් ආපු කාන්ති ඇන්ටි, සමාධි අක්කා, අපේ අම්මයි අක්කයි දැකපු මට දුවගෙන ගිහින් රශ්මිගේ අතින් අල්ලන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. මට ඕනේ උනේ එකම එක දෙයයි. ඒ රශ්මිගේ කටින්ම මට කැමතියි කියල අහගන්ඩ විතරයි.
"ආ මල්ලී...මොකෝ අද කලින්ම ඇවිල්ලා? ගෑනු ළමයෙක් බලන්ඩවත් ආවද?" සමාධි අක්ක අහපු දෙයින් මං කරකවල අතඇරියා වගේ උනා. මෙයත් දන්නවද කියල මට හිතුනා. එහෙම නම් ඉවරයි. අනිවා අපේ අක්කටත් කියනවා.
"ඔව් අක්කේ. මේ...ලස්සන ගෑනු ළමයෙක් අද පන්සල් එනවා කියල ආරංචියක් ආව. එයා බලන්ඩ ආවේ මං" කියල මං විහිලුවට නොවුනත් විහිලුවට වගේ කිව්වා. අමාලි රශ්මිගේ අත හොරෙන් කොනිත්තද්දී රශ්මි බිම බලාගෙන අහිංසක විදියට හිනා උනා. අපි සේරම බෝධිය පැත්තට ගියේ බෝධි පුජාවට ලෑස්ති වෙන්ඩ.
"පුතාලා මෙයාලත් එක්ක ගිහින් පැන් කල ටික අරන් එන්නකෝ" අම්ම මට සුපුරුදු රාජකාරිය පැවරුවා. මං ඉස්සරවෙලා පිටිපස්ස බලන්නේවත් නැතිව ආවේ අනේ අක්කේ ඔයාලනම් එන්ඩ එපා කියල හිතින් හිතාගෙන.
"අක්කලා ඉන්ඩකෝ. මායි රශ්මියි ගිහින් අරන් එන්නම්" අමාලි කියපු ඒ වචන ටික මට ඇහුනේ දිව්‍යලෝක සනීපයකුත් එක්ක. රශ්මිටයි මටයි කතාකරන්ඩ ඉඩ දීලා අරෝශයයි අමාලියි පැන්කල වලට වතුර පිරෙව්වා.
"නංගි...මට කියාගන්න විදියක් තේරෙන්නේ නෑ. ඔයාව ඉස්සෙල්ලම දැකපු දවසේ ඉඳන් ඔයා මගේ හිත ටිකෙන් ටික ඔයාගෙම කරගෙන නංගි ඉන්නේ. මං දන්නවා. ඔයාගේ විභහගෙත් අත ළඟ තියද්දි මං මෙහෙම ප්‍රශ්නෙකුත් ඔයාගේ ඔලුවට දාන එක වැරදි. එත් මට තව දුරටත් මේක හිතේ තියාගෙන ඉන්න බෑ නංගි. මීට කලින් කවදාවත් කෙල්ලෙක් ළඟින්වත් ආශ්‍රය කරපු නැති මට ඔයාව දැක්ක ගමන්ම ඔයාව මගේම වෙනවා නම් කියල හිතුනා මට. මං ඔයාට ගොඩාරියක් ආදරෙයි රශ්මි..." මගේ හිතේ කැකෑරි කැකෑරි  තිබ්බ හැමදේම නොවුනත් කියාගන්ඩ පුළුවන් වෙච්චි ටික මං එක හුස්මට කියල දැම්මා.
"මං දන්නවා අයියේ...ඔයා නරක කෙනෙක් නෙවෙයි කියලත් මං දන්නවා. එත් මට එෆයාර් එකක් පටන් ගන්ඩ කලින් හිතන්ඩ ගොඩාක් දේවල් තියෙනවා අයියේ. මං මගේ ජීවිතේට පිරිමියෙක්ට කියල ලංවෙලා තියෙන්නේ මගේ තාත්තට විතරයි අයියේ. ඔයා එදා ඉස්සරලම දවසේ මාත් එක්ක බස් එකේදී කතාකරද්දීත් මට මට ලොකූ නුහුරු බවක් දැනුණා. මට ආදරේ බින්දුවක්වත් අඩු නැතිව අම්මගෙන් තාත්තාගෙන් හම්බෙනවා අයියෙ. මට එයාලගෙ හිත රිද්දනත් බෑ."
"මං දන්නවා නංගි. මට තේරෙනවා. අද කාලේ ඉන්න ගොඩාක් කෙල්ලන්ට වඩා ඔයා අහිංසකයි කියල මං දන්නවා. ඔයාගේ ඔය අහිංසක හිතට කවදාවත් දුක හිතෙන දෙයක් කරන්ඩ මට උවමනාවක් නෑ නංගි. ඔයා කල්පනා කරල මට කියන්න." එතනින් එහාට මමවත් රශ්මිවත් ආයෙම කතා කරේ නෑ. අරුන් දෙන්න පැන් කල පුරවන් යන්ඩ බලන් ඉන්නවා. රශ්මිටත් පැන් කල දෙකක් දීලා මමත් දෙකක් අරගෙන බෝධිය පැත්තට එන්න ආවා.
"වරුණ අයියේ..." ඒ කටහඬේ තිබ්බේ ලොකූ දුකක්.
"ඔයා මාත් එක්ක තරහා වෙන්න එපා. මං හෙට ආයෙමත් ගමේ යනවා."
"ඇයි නංගි..."
"කලින් මං ගමේ ගියේ...ආච්චි කෙනෙක් බලන්න...එයා තමයි මාව පොඩි කාලේ බලාගත්තේ. මට හුඟාක් ආදරෙයි. ඒ ආච්චිට ආයෙමත් අසනීප වෙලා. මේ පාර හොඳටම අමාරුයිලු. ඉතිං ආයෙමත් මං හෙට උදේම යනවා."
"හ්ම්ම්...කවදද එන්නේ ඉතින්?"
"දන්නේ නෑ..."
"හ්ම්ම්..." බෝධිපුජාව පටන් ගත්ත නිසා ආයෙම අපිට කතා කරන්න හම්බුනේ නෑ. රෑට යනගමනුත් විශේෂයෙන් කතාකරන්ඩ වෙන්නේ නෑ කියල දන්න නිසා හිතේ තිබ්බේ දුකක් විතරයි. දවස් දෙක තුනකටවත් ආයෙම රශ්මිව දකින්න වෙන්නෙත් නෑ. වැඳගෙන ඉන්න අතරේ හොරෙන් හොරෙන් ඒ සුදු මූණ දිහා බැලුව මිසක් අද නම් බෝධිපුජාව ඉවරවෙනවා දැනුනෙත් නෑ. බෝමළුවෙන් පහල මළුවට බහිද්දී රශ්මි මගේ ලඟට ආවා. ඇවිත් එයාගේ ලස්සනම ලස්සන හිනාවෙන් ටිකක් මට දුන්නා.
"අමාලි ක්ලාස් යනකොට බස් එකට නග්ගන්න අනිත් දවසෙත් ඔය දෙන්නා යන්ඩ ඈ.." කිව්වා.
"ඔන්න බලහන්කො. ආයේ මෙයා එන්නේ නෑ. වැඩේ හරිනේ දැන්." කියලා හිනාවෙවී අමාලි රශ්මිව ඇද්දා යන්න..
අද අහසයි මගේ හිතයි දෙකම හොඳටම සමානයි නේද කියල මට හිතුනා. අද පෝය හඳ හින්දා මුළු අහසම ලස්සනට එලිය වෙලා. එත් හෙට ඉඳං ටික ටික හඳ එලිය අඩුවේවි. ඒ වගේම රශ්මි ගෙදර ගියාම මගේ හිතේ සතුටත් ටික ටික නැති වේවි. එත් අහසට හඳ නැතිව අමාවක උදා උනාට මටවත් රශ්මිටවත්  කවදාවත් අමාවකක් උදාවෙන්න එපා කියලයි ප්‍රාර්ථනා කරේ....



රශ්මි ගිහින් දවස් තුනක් උනා. එයා එන දවසක් අහගන්න කෝල් කරන්නත් බෑ එයා එපා කියපු නිසා. අහන්ඩ පුළුවන් එකම කෙනා අමාලි තමයි. එදා අමාලි එනකන් ටවුමට වෙලා පැයකට වඩා බලන් ඉන්ඩ උනා.
"ඔයා හම්බුනු එක හොඳයි වරුණ අයියේ"
"ඔයා හම්බෙන්ඩම තමයි මං ආවේ. රශ්මි එන දවසක් කිව්වේ නැද්ද නංගි?"
"ඒකම තමයි. අර ආච්චි නැතිවෙලා. ඉතින්...රශ්මි එන්න තව සතියක්වත් යාවි."
"සතියක්? හ්ම්ම්..."
"පව් රශ්මිට හොඳටම දුක හිතලා ඉන්නේ. අද උදේ මට කතාකරෙත් අඬ අඬ"
"වෙන මුකුත් කිව්වේ නැතිද?"
"කිව්වා. ඔයා හම්බුනොත් කියන්ඩ කිව්වා..."
"හ්ම්ම්...අර බස් එක යන්න හදන්නේ. යමු ඒකෙ..."
අමාලියි මමයි බස් එකට නැගල එකම සීට් එකේ ඉඳගෙන ආවේ. අපි අනම් මනං කතාකරකර ආවා. මොනවා කතාකරත් හිතේ තිබුණු දුක වැඩි උනා මිසක් අඩු උනේ නෑ. ගෙදර ඇවිත් පාඩම් කරන්ඩ හිතට නිදහසක් තිබ්බෙත් නෑ. ඇඳට වෙලා හිටියට නින්ද ගියෙත් නෑ.
කල්පනා ලෝකෙන් මිදුනේ ආපු කෝල් එකකින්. ඉක්මනට බැලුවේ රශ්මිද කියලා. ඒත් ඒක ෆෝන් එකේ සේව් කරපු නම්බර් එකක් නෙවෙයි. කෝල් එක ආන්ස්වර් කරත් මං සද්ද නැතිව හිටියේ කතා කරපු කෙනාට කතා කරන්ඩ ඇරලා.
"හෙලෝ...වරුණ..." එහා කොනින් ඇහුනේ පුරුදු කටහඬක්. මට එක පාරට මතක් උනේ කලිනුත් දවසක් මෙහෙම ආපු කෝල් එක. ඔව් මේ ඒ කටහඬමයි. මට ඒක අමතක නෑ
"සඳලි අක්කා..."
"වරුණ....කොහොමද මාව අඳුරගත්තේ?"
"වැඩි අමාරුවක් උනේ නෑ"
"තරහද මාත් එක්ක..."
"තරහ වෙන්ඩ තරම් හේතුවක් තිබුනද?"
"අද හවස්  වෙනකන් තිබුනා."
"මට තේරුනේ නෑ..."
"මං ඔයාට නොකියපු දෙයක් තිබුනනේ. ඒක ඔයා එදා කූල්ස්පොට් එකේදී දැනගත්තානේ. ඉතින් ඔයාට තරහ වෙන්න පුළුවන්කමක් තිබුනා."
"ඉතින් දැන් බැරිද මට තරහ වෙන්ඩ?"
"බෑ..."
"ඇයි ඒ"
"ඔයා සමාධිගේ නංගිත් එක්ක යාළුයි කියල මං දැන් දන්න නිසා..."
"ඔයාට වැරදිලා සඳලි..."
"මොනවද?"
"අනිත් එව්වා මං දන්නේ නෑ. එත් මං ගැන ඒ කියපු කතාව වැරදියි."
"ඇයි? මං අද දැක්කනේ ඔයා එයා එයා එනකන් ටවුමේ ගොඩක් වෙලා බලන් ඉදලා එයත් එක්කම බස් එකේ ආවා...මමත් ඒ බස් එකෙමයි හිටියේ. ඔයා මාව දැක්කෙත් නෑනේ නේද?"
"බස් එකේ කතාකරකර එන්නේ ආදරේ කරන අය විතරද? ඔයත් ඇවිත් තියෙනේ මාත් එක්ක බස් එකේ කතා කරකර..."
"අපිට ආදරේ කරන්ඩ බැරි උනේ මගේ පවට වරුණ..." එහෙම කියල එයා අඬන්න ගත්තා. මට මුකුත් හිතාගන්න බැරි උනා එක පාරට.
"මොකද සඳලි අක්කේ? මොකද්ද ප්‍රශ්නේ? ඇයි අඩන්නේ?"
"මට ඔයාට කියන්ඩ ලොකු කතාවක් තියෙනවා"
"ඉතින් කියන්න. මං අහන් ඉන්නම්"
"මෙහෙම ෆෝන් එකෙන් කියන්න බෑ..."
"එහෙනම්?"
"අපි දෙන්නා ටිකක් නිදහසේ කතාකරමු කොහාට හරි ගිහින්? අනේ බෑ කියන්නනම් එපා මල්ලි. ප්ලීස්. මට මේ වෙලාවේ ඉන්නේ ඔයා විතරයි. අනේ වරුණ..." ආයෙමත් සඳලි ඉකිබිඳීන්ඩ පටන් ගත්තා.
"හරි දැන් අඬන්නේ නැතිව ඉන්නකෝ. මං හෙට උදේට කෝල් එකක් දෙන්නම්."



facebook comments...

6 comments:

  1. මේ සදලි මොකාටද මං එන්න යන්නේ.....

    ReplyDelete
  2. //"අපි දෙන්නා ටිකක් නිදහසේ කතාකරමු කොහාට හරි ගිහින්?//
    පෙම් කරන කාලේ හරිම ජනප්‍රිය වචන ටිකක්

    ReplyDelete
    Replies
    1. හෑ...මටත් ඉස්සරහට කවුරුත් කියයිද දන්නේ නෑ...

      Delete
  3. නලීන් අයියා කිවුවත් වගේ මේ ඩයලොග් එකනම් ඇහෙද්දී ඇත්තටම දැනෙන්නේ අමුතු හැඟීමක්..

    බලමු කතාවට මොකෝ වෙන්නේ කියලා..

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...